"පුතා තවම නිදි නැද්ද? දැන් මගෙ හිතේ එකටත් කිට්ටුයි."
"අම්මව එක පාරක් හරි තුරුල් කර ගන්නේ නැතිව කොහොම නිදා ගන්නද ඉතින්. ඒ පාළුවෙන් තමයි හිටියේ මෙච්චර වෙලා එනකං."
"අනේ අනේ, තාම පොඩි කාලෙ පුරුදු ඇරිලා නෑ නේ? තවම පොඩි එකා වගෙයි."
"අම්මා තමයි ඉතින් ඔන්න මාව නරක් කරලා තියෙන්නේ." මම හීටරය ක්‍රියා කරවමින් කියුවෙමි.
"හරි ඇලන්. දැන් නිදන්නකෝ ගිහින්. මෙන්න ඔයාගෙ තුරුල."
මා ඇයව බදා ගනිද්දී දැනෙන උණුසුම වෙන කිසිවෙකුටවත් දිය නොහැකි බව නොසැඟවීමට දෙයක් නොවේ.
මාද සුව නින්දක් බලාපොරොත්තුවෙන් කාමරය වෙත ඇදුනෙමි. මේසය මත දැල්වෙමින් තිබූ විදුලි පහන නිවා දමන විට මා ලියමින් සිටි දින පොතෙහි පිටු, කවුළුවෙන් ආ සුළං රැලි නිසා පෙරලී තිබිණි. පොත් සලකුණක් වෙනුවට මා තබා තිබුණේ ඇගේ සේයාරුවකි. ඇය කුඩා කලදී ගත්තක් වුවද තවමත් මා ලැමිනේට් කොට තබා ගෙන සිටි හෙයින් ආරක්ෂා වී තිබුණේ පරණ දේවල් වල අගය තවත් මතු කරමිනි. ඇඳට බට මා නිදන්නට සැරසුණේ කොට්ටයක්ද තුරුලට ගනිමිනි. ඇස් පියවීගෙන එන විටම මගේ ජංගම දුරකථනය නාද විණි. ඒ ජෙනීය.
"ඇලන්, අයියා... අපිට පොඩි කරදරයක් වෙලා."
"ජෙනී මොකද මේ මහ රෑ? මොකද්ද ප්‍රශ්නේ?"
"අපේ තාත්තට එක පාරටම ෂොක් එකක් වගේ හැදිලා. මට නම් හිතා ගන්නවත් බෑ මොකද කරන්නේ කියලා. මම අයියත් එක්ක එයාව 'සිටි හොස්පිටල්' එකට ගෙනාවා."
"මුකුත් කරදරයක් නෑ නේද තාත්තට?"
"එහෙම විශේෂ මුකුත් ගැන තවමත් දොස්තර කීවෙ නෑ සුදු අයියා. එයාට හදවත් ප්‍රශ්නයකුත් තිබුණනේ. ඒක ඔයා දන්නව නේ. හදිසියේම මොනා වුණාද මන්දා."
"හරි ජෙනී ඔය කලබල නොවී ඉන්න. එඩීත් ඉන්නව නේ. කිසිම දේකට හිත කලබල කර ගන්න එපා. මම දැන්ම එන්නම් ඔහේට. බය නොවී ඉන්න හොඳ ළමයා වගේ. තාත්තට ඉක්මණට හොඳ වෙයි."
මා එසේ කීවේ ඇගේ හිත සැනසීමට වුවත් එය මා හිතට එක්කඟව නොකියූ බැව් මට දැනිණි.
"අම්මාට කියනවාද නැද්ද?" මගේ හිතේ වූයේ ප්‍රශ්නාර්ථයකි. වෙහෙස වී ගෙදරවුත් සුව නින්දක් ලබන අතරේදී ඇයට බාධා කිරීමට මා කැමැත්තක් නොදැක්වූයේ ඇය මත තවත් ප්‍රශ්න නොපැටවිය යුතු නිසාය. මා හනික ඇඳෙන් බැස ඇඳුම් අල්මාරියේ එල්ලා තිබූ ඩෙනිම් කලිසමක් හා ටී ෂර්ට් එකක් පැළඳ පහළ මාලයට බැස ආවේ කොල කැබැල්ලක පණිවුඩයක් ලියා තැබීම සඳහාය.
"අම්මා, මම යාළුවෙක්ගේ වැඩකට හදිසියේම එළියට යනවා. උදේට කෝල් කරන්නම්. දෙවි පිහිටයි ඔයාට - මීට ඇලන්."
පණිවුඩය ලියූ කොළ කැබැල්ල මේසය මත තිබූ මල් පොකුර රැඳවූ අසුරණයට යට කළ මා දොරත් විවර කොට ගෙන එළියට පිය මැන්නේ හොරෙකු හොර රහසේ නිවසකින් සොරා කා පැන යන්නාක් මෙනි. ඒ කාගෙ කාගේත් හොඳටය. දොර හිමින් වසා මාගේ යතුරු පැදියට ගොඩ වී එය පණ නොගන්වාම පයින් රුප්පාව අසලටම දෙපයින් බිම ඇණමින් රැගෙන ආවේ කිසිදු හඬක් ඇති නොවී අම්මාගේ නින්ද රැක ගනු පිණිසය. ඉන් පසු මගේ කුරුල්ලා හට මා පණ පොවා, සිටි රෝහල වෙත පියාඹා ගියෙමි. නිවසින් පිටත් වෙද්දී වේලාව හරියටම අළුයම දෙක වී හමාරය. සුව නින්දක් ලැබීමට කැමැත්තෙන් සිටියද එය ගැන වැඩි තැකීමක්ද නොතිබුණේ ඇය සන්තාපයෙන් සිටි බැවින් විය හැකිය.
ලොම්පොක් හරහා වැටී තිබූ ප්‍රධාන මාර්ගයෙන් හරස් පාරකට හරවා කිලෝමීටර විස්සක පමණ දුරක් ගෙවා ගිය විට හමුවන්නේ 'කැල්වරි චැපල්' දේවස්ථානයයි. ඊට යාබදව ඇත්තේ සිටි රෝහලයි. ඒ වෙත පැමිණෙද්දී අළුයම දෙකත්, තව අඩ හෝරාවකුත් ගත වී තිබිණ.