ප්‍රබන්ධයක් ලෙසින් රචනා වෙන මෙම බ්ලොග් පිටුවට මිතුරු ඔබ සැවොම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා හා ප්‍රශංසාවන් පළ කරන අතරතුරේදීම පාඨකයෙක් විදියට මේ කතාවත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා. මේ කතාව සාර්ථකව ඉදිරියට ගෙන යන්න ඒක ගොඩාක් ලොකු රුකුලක් වේවි...

Saturday, May 8, 2010

රිදී අසිපත - 2 වන කොටස

දහවල් දොළහේ කණිසම වැදී මේ වෙද්දී විනාඩි විස්සක් පමණ ගත වී ගොස් හමාරය. මට නිවසට පැමිණීමට හැකි වූයේ හිස පමණක් වැසි වතුරට නොතෙමා ගෙනය. ඇඳ සිටි දිග කලිසමත් කුඩේ අල්ලා ගෙන සිටි බැවින් අතුත් වැස්ස නිසා හොඳටම තෙත බරිත වී තිබිණි. පයින් රුප්පාවට බට අකුණේ හඬ තවමත් මගේ කන් තුල දෝංකාර දෙමින් පැවතිණ. එකක් පසුවට එකක් ලෙසින් සිදුවූ මේ සියලු සිද්ධීන් පිළිබඳව මගේ සිතේ හට ගත්තේ වෙනස්ම ආකාරයේ සිතුවිලි දාමයකි. අවුරුද්දකට දෙතුන් වතාවක් පමණක් වැසි වැටෙන 'කෝල්සිමිත්' වලට, මෙවර වැසි වැටුනේ මීට පෙර අවස්ථාවලදී වැසි නොවැටි සමයකදීය. මන්දයත් මේ ග්රී ශ්ම සමය නිසා. නමුත් කාළගුණ වාර්තාවේ පවා සඳහන් නොවුණු තත්වයක් ඇති වූ හෙයින්ද, මෝසම් කාලයත් නොවන බැවින් කාගෙ කාගේත් හිත් වලට මඳක් හෝ නොරිස්සුම් ස්වභාවයක් පැන නගින්නට ඇතැයි මට සිතේ.

මා ගෙදර එන විට සිටියේ නංගී පමණය. අම්මාත් තාත්තාත් සාප්පු සවාරියක යන බව ඉයේ කතා වෙනවා මට යාන්තමට මෙන් ඇසිණ. අද ඔවුන් යන්නට ඇත්තේද ඒ ගමන විය හැකිය. නිවස ඇතුලත නෙහෙවින් අන්ධකාරයට පත්වී තිබිණ. ගෙදරට පැමිණ සීනුව නාද කරත්ම කාමරයේ නිදා සිටි මගේ නංගී දිව අවුත් නිවසේ දොර විවෘත කළාය. ඇය වයසින් මට වඩා අවුරුදු දෙකක් බාලය. නමින් මිෂෙල් කාටර් විය. අම්මා ගෙදර නොසිටි බැවින් මුලු ගෙදරම ලොකු පාළු ස්වභාවයක් පැතිරී තිබිණ. කෙසේ නමුත් ඒ සියළු මනස්ගාත හිතෙන් ඉවත් කර ගැනීමට මා මගේ කාමරය වෙත තරප්පු පෙල මතින් පිය නැංගේය. සියළු ඇඳුම් උනා දමා නාන කාමරයේ හොඳ උණුසුම් ජල ස්නානයකින් පසුව ඇඟට දැනුනේ පුදුමාකාර සැහැල්ලු බවකි. සීත දවසක් බැවින් වෙනදාටත් වඩා අද උණුසුම මා වටා පැතිරී ඇති බවක් වැටහිණ.

හදිසියෙම නිවසේ විදුලිය ඇණ සිටියේය. ඒත් සමගම අසල නිවාස පෙළෙහිද එසේම වූ බව කාමරයේ කවුළුව දෙසට ඒ වන විට යොමු වී තුබුණු මගේ ඇස් වලින් මට දැක ගත හැකි වීය. විශාල දෙදරුම් හන්න්ඩක්, ස්වභාවයක් පහලින් ඇති විය. එය අකුණක්ද? නැතහොත් පාරේ එන අතරතුරේදී දෙපයට දැණුන පොළොවේ දෙදරුමද කියා මට නොවැටහිණ. මන්දයත් මෙවර ඒ හඬ දස ගුණයකින් පමණ වැඩිවී ඇසුණු හෙයින්. මා සිටි උඩ තට්ටුවට නංගී බය වී දිව පැමිණ මාව බදා ගත්තාය. ඇත්තෙන්ම බිම් මහලට ඒ දෙදරුම හොඳින්ම දැනෙන්නට ඇතැයි මත ඒ වෙලාවේදී තේරුම් ගියේය. නංගීට බය නොවී සිටින ලෙස් මා අවවාද කළේ මෙය අකුණක් බව පවසමිණි. ඇය නැවත උඩු මහලේ තිබූ ඇගේ කාමරය වෙත ගොස් ඇඳේ වැතිරී කොට්ටයක් බදා ගත්තාය.

ඒත් සමගම මුළු වැන්ඩන්බර්ග් ගම්මානයම තෙත් කළ මහා වරුසාව කෙමින් කෙමින් තුරල් වන සෙයක් දිස් විණි. වහලයේ උළු මතට වැටෙනා පොද වලින් නැගෙන 'ටක ටක' හඬ අඩු වත්ම එය වතහා ගැනීමට නංගීට පවා හැකි වන්නට ඇතැයි මම සිතුවෙමි. එසේ සිතුවද ඇගේ කාමරය වෙත හිස එබූ මා හට ඇය සැප නින්දකට වැටී ඇති බව පෙණින. එනමුදු පැතිර තිබූ අන්ධකාරය නම් අඩුවක් නැතිව එලෙසින්ම පැවතිණ. වර්ෂාව තුරන් කලද සිහින් පොදයක් පැවතිණ. ඉන්ද පැය දෙකක් හෝ තුනක් පමණ යන තුරුත් නිවසේ විදුලිය නැවතත් පැමිණ නොතිබිණි. මාද මඳක් නිදා ගත් බැවින් වේලාව් හරි හැටියට පැවසීමට නොහැක. එහෙත් අවදි වූ අවස්ථාවේද විදුලිය පැමිණ නොතිබූ හෙයින් මම කෑමට යමක් සෙවීමට පහළ තට්ටුවේ වූ ශීතකරණය වෙත පිය නැගීමි. තිබූ පලතුරු අතරින් ඇපල් ගෙඩියක් අතට ගෙන නැවතත් සුපුරුදු නවාතැනට පිය මැන මගේ පාසල් වැඩක් කිරීමට සූදානම් විය. මගේ ලැප්ටොප් පරිගණකයෙන් අන්තර්ජාලය සැරි සැරීමට මා උත්සාහ කළද එයද අසාර්ථක වූයේ වර්ෂාව නිසා ගුවන් විදුලි සංඥා අවහිර වී තිබූ බැවින් විය හැකිය. අතරින් පතර පැමිණෙන සංඥා ග්‍රහණය කොට ගෙන වැඩය කර ගැනීමට ප්‍රමාණවත් අන්තර්ජාල සම්බන්ධතාවක් නොතිබූ හෙයින් ලියන වැඩ කොටස අවසන් කිරීමට මම හිත වෙනස් කර ගතිමි.

No comments:

Post a Comment

"රිදී අසිපත" කතාවෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත කතා පුවතක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in this story, "Ridee Asipatha (The Silver Sword)" are fictitious and a creation.