ප්‍රබන්ධයක් ලෙසින් රචනා වෙන මෙම බ්ලොග් පිටුවට මිතුරු ඔබ සැවොම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා හා ප්‍රශංසාවන් පළ කරන අතරතුරේදීම පාඨකයෙක් විදියට මේ කතාවත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා. මේ කතාව සාර්ථකව ඉදිරියට ගෙන යන්න ඒක ගොඩාක් ලොකු රුකුලක් වේවි...

Wednesday, May 12, 2010

රිදී අසිපත - 4 වන කොටස

මේ, අවුරුදු පහක කාලය තුලදී මගේ අතින් ලියැවුණ දින පොත් වල පිටු අතර යද්දි සැඟවී තිබුණු දාහකුත් එකක් සිද්ධීන් අතරින් මෙවන් අවස්ථාවන් මගේ මතකයේ අදටත් ගැඹුරින්ම සටහන් වී තිබෙන්නේ ගලක් මත ඇඳි ඉරක් මෙනි. එසේ ගතවූ අතීතයේදී කිසිදු ගැටළුවක් ඇති නොවූවා නම් මොන තරම් දේවල් අපි අතරේ ඉතිරි වෙන්නට තිබුණාදෝ, නැතහොත් ගිලිහී යන්නට සූදානම්ව තිබුණාදෝ කියාත් පෙළක් වෙලාවට හැඟී යයි. නමුත් කාලයට සෑම දෙයක්ම තීරණය කරන්නට ඉඩ දී බලා හිඳීම තරම් නුවණට හුරු දෙයක් නැත්තේමය.

කෙමෙන් රෑ බෝ වී පැමිණියත් තවමත් අම්මලා පැමිණියේ නැත්තේ මන්දැයි මගේ සිතේ බයක්ද චකිතයක්ද ඇති විය. දොළකින් ගලා බසිනා සිහින් දිය සීරාවකින් මුව දොවා ගත් විට දැනෙන සිසිලසක් මුළු පරිසරයේම පැතිරී ගියේ වැහි පොද දෙක තුන බිම පතිත කරවමිණි. දැන් සවස හතට පමණ ඇතැයි හැඟිණි. නංගීද ඇගේ කාමරයේ බෝනික්කන් සමඟ හුරතල් වෙමින් සිටියාය. මමද මාගේ පාසැල් වැඩය අවසන් කර ගත්තේ අන්තර්ජාල සබඳතාව නැවතත් ලද හෙයිනි. අප සිටිනා වැන්ඩන්බර්ග් ගම නගරබද සීමාවෙන් ඈතට වන්නට ඇති හෙයින් මෙවන් අවස්ථාවන් වලදී පහසුකම් අඩු වීමත්, ඇණ හිටීමත් සිදු වීම අරුමයට කරුණක් නොවීය. නගරයට යන බසයකට ගොඩ වීමට ඇත්තේ අතලොස්සක පමණ පිරිසක් හෙයින් ගමනාගමනය සිදු වූයේ බෙහෙවින්ම බයිසිකල වලින්මය. නමුත් බස් සේවාවක් නොතිබුණාම නොවේ. එයද ඉතාමත් කාර්යක්ෂ්යම යැයිද කිව නොහැක. මන්දයත් දිනකට ඇති ගමන් වාර ගණන පහක් පමණක් වූ බැවිණි.

රාත්‍රී අටට පමණ රූපවාහිණිය පණ ගැන්වූ මා හට දැක ගත හැකි වූයේ ඇස් අදහා ගත නොහැකි සිදුවීමකි. එනම් වැන්ඩන්බර්ග් වලට යාබද “ලොම්පොක්” නගරයේ සිදුවී ඇති භූ විපර්යාසයක් ගැනය. දහවල් කාලයේදී මා දෙපයට දැණුන දෙදරීම එහි හටගත් භූ කම්පනයක් නිසාවෙන් බව දැනගත හැකි විය. එමෙන්ම එහි භූ විච්චේදනයකටද ලක් වී ඇති බව පෙන්වූ රූප රාමු වලින් මට පැහැදිලි විය. නමුත් කිසිවෙකුටත් අනතුරක් වූ බව හෝ විපතක් වූ බව සඳහන් නොවිණි. මෙය ඇසීමෙන් හා දැකීමෙන් මගේ සිතේ බියක් ඇති වූයේ අම්මා තවමත් නිවෙසට නොපැමිණි නිසාවෙනි. මන්දයත් අම්මාත් තාත්තාත් එනම් හැරීත් සාප්පු සවාරියේ ගියේ ඒ නගරයට බැවිණි. දුර ඇමතුම් ගත්තද පිළිතුරක් ද නොවූයෙන් තවත් බියක් හට ගැණින. හවස් යාමයේදී නම් සංඥා අවහිරතා තිබූ හෙයින් ඒ ගැන නොසිතා සිටි හැකි වුවත් දැන් එසේ නොව. තත්වය සහමුලින්ම කණපිට හැරවී ඇත්තාක් මෙන් හැඟී ගියේය. එසැණින්ම වාහනයක නලා හඬක් ඇසිණි. ඒ අපේ නිවසටය. “හම්මෝ ඇති යාන්තං ඇවිත්” කිය නිසඟයෙන්ම මගේ මුවින් පිට විණි.

මා හනිකට දිව ගොස් දොර විවෘත කළේ සුපුරුදු පුද්ගලයන් දෙදෙනෙකු දැකීමටය. ඒ අම්මාත් තාත්තාත්ය. නමුත් සාප්පු සවාරියේ ගිය අය පැමිණියේ ඇඳුම් වල මඩ තවරා ගෙනය. ඒත් සමඟම දැකගත හැකි වූයේ අපේ වාහනය නොව, හැරී-තාත්තාගේ මිතුරකු වන විල්සන් මහත්මයාත් ඔහුගේ වාහනයත්ය. “පුතාලා බය වුණාද අපි එන්න පරක්කු වෙද්දි? කෝ නංගී? දෙන්නම හොඳින් ඉන්නවා නේද?” අම්මාගේ හඬ අවධි විය. “අපි ගොඩක් බයෙන් හිටියෙ අම්මා. නංගී නම් කාමරයේ විකාර කර කර ඉන්නවා. ඔයාල ගිහ දිහාවක විගහට එන්න එපැයි. ඒත් ඇයි මේ මඩ ගෑවිලා? කෝ අපේ වාහනේ? ඔයාලා උදේ ගියේ වාහනේ නේද? ඉන්නකෝ පුතේ විස්තරේ කියන්නම්, ඔක්කොටම කලින් ගෙදෙට්ට ගොඩ වෙන්න දෙන්නකෝ." තාත්තා කීවේ මැලවුණු ස්වභාවයකිණි. "ස්තූතියි විල්සන්. වෙලාවේ හැටියට ලොකුම ලොකු උදව්වක් කළේ අපිට. අයියෝ හැරී ඕකත් දෙයක්ද. වුණු ඇබැද්දියේ හැටියට. මං එන්නම් එහෙනම්, සුභ රාත්‍රියක් වේවා! සුභ රාත්‍රියක් විලී. සුභ රාත්‍රියක් විල්සන් අංකල්.” සිදු වූ දෙය කුමක් දැයි දැන ගන්නා තුරු මගේ සිතේ තිබුනේ උනන්දුවකටත් වඩා කුතුහලයකි.

No comments:

Post a Comment

"රිදී අසිපත" කතාවෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත කතා පුවතක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in this story, "Ridee Asipatha (The Silver Sword)" are fictitious and a creation.