ප්‍රබන්ධයක් ලෙසින් රචනා වෙන මෙම බ්ලොග් පිටුවට මිතුරු ඔබ සැවොම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා හා ප්‍රශංසාවන් පළ කරන අතරතුරේදීම පාඨකයෙක් විදියට මේ කතාවත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා. මේ කතාව සාර්ථකව ඉදිරියට ගෙන යන්න ඒක ගොඩාක් ලොකු රුකුලක් වේවි...

Friday, May 14, 2010

රිදී අසිපත - 6 වන කොටස

“හොඳ වෙලාවට කාටවත් කරදරයක් නැත්තේ. මුලින්ම මේ ප්‍රවෘත්තිය ඇහුවම මට බය දෙගුණ තෙගුණ වුණා. මොකද අම්මලා ශොපිං ගියේ ලොම්පොක් වලට නිසා.” මම මගේ හිතේ සැඟව තිබූ බිය පහ කර ගතිමි. “දෙවියන්ට ස්තූති වෙන්න අපි අද යහතින් පුතේ. ඔයාල දෙන්නම හින්දා වෙන්න ඇති දෙවියෝ අපිව බලා ගන්න ඇත්තේ, ඒ වගේම ඔයාල දෙන්නවත්. අපි හිතුවාටත් වඩා ගොඩාක් වෙලා අපිට පාරේ එහෙ මෙහෙ දුවන්න වුණා වාහනේ ප්‍රශ්ණ නිසා. විල්සන් අංකල් නොහිටියා නම් අද අපිට පාරෙයි ඉන්න වෙන්නේ ඇලන්. ඒ මදිවට ඔයාලට කෝල් එකක්වත් ගන්න බැරි තරමට ටෙලිෆෝන් ලයින් බිසී.” තාත්තා හති අරිමින් කීවේය. දෙදෙනාම අපි දිහා අනුකම්පාවෙන් බලා සිටිමින් කතා කරන බව දුටු විට මගේ සිතටද කණගාටුවක් ඇති විය. ඒත් දෙවියන් වහන්සේ ඒ දෙදෙනා බේරා දී අපට කළ උදව්වට තුති පුද කළ යුතුමය.

ඔවුනගේ මැලවුණු මූණු සිනාවකට නැංවීමට සිතා මම නංගීගේ විකාර වැඩ ටිකක් කීමට පටන් ගතිමි. “අම්මා දන්නවද? මෙයා දැන් මේ ඉන්නේ අම්මලා ඉන්න නිසා. ඉස්සෙල්ලා හිටියේ බෝනික්කෙකුත් බදා ගෙන ඇඳ යට. අනේ යනවා යන්න අයියේ… අම්මේ මෙයා මේ බොරු කියන්නේ. ඒක විතරක් නෙවෙයි, ගොරවද්දි දුවන් ආවෙ මගෙ ලගට. වෙන වෙලාවට රණ්ඩු කෙක්ක වගෙයි, වහිද්දි මී හාමිනේ කෙනෙක් වගෙයි.” මම නංගීව තවත් ඇවිස්සුවෙමි. නංගී නැගිට මට පහරක් ගැසීමට එන වගක් පෙණුන හෙයින් මාද නැගිට දුවන්නට සැරසුනෙමි. කියුවාක් මෙන් නංගී මා පසු පස දිව ආවේ මා මේසය වටා දුවද්දීය. “හා හා දෙන්නගේ රණ්ඩුවයි විහිලුයි නවත්තලා කාලා ඉවර වෙන්න” හැරී තාත්තා මෙසේ කියද්දි අම්මා නංගීවද, තාත්තා මාවද නතර කර ගත්තෝය. ඔවුන් අපට හැන්දකින් මගෙත් නංගීගේත් පිඟන් වල ඉතිරි වී තිබූ අවසාන කෑම කට කවන්නට වූහ. අපි කොච්චර ලොකු වුණත් ඒ දෙදෙනාට නම් අප තවමත් පොඩි ළමුන්ය. නිවසින් පිටතදී කෙසේ අප හැසිරුණද නිවසේදී නම් හොඳ කීකරු ළමයි ලෙසින් හැසිරීමට වග බලා ගත්තෙමු.

සියළු දෙනම රාත්‍රී භෝජනයෙන් අනතුරුව කාමර වලට පිය මැන්නේ “සුභ රාත්‍රියක්” යැයි එකිනෙකාට පතමිණි. සිදුවූ සියල්ලම චායාවක් සේ අප හිත් වලින් මැකී යන්නට පටන් ගෙන තිබුණු බවක් මට වැටහිණි. ඒ මන්ද යත් අම්මාත් තාත්තාත් අප සමග සිටීම විය හැකිය. ඔවුන් සමග සිටිනා විටදී කිසිදු හිත් තැවුලක් අපට නොදැනෙන්නේ ඔවුන්ගේ හොඳ කම නිසාම විය යුතුය. මා මගේ කාමරය වෙත පැමිණියේ දිනයේ අවසන් භාගයේ දෑ දින පොතෙහි වදනින් සිතුවම් කිරීමටය. ඒ මේ අත ගොස් තිබූ ඇඳ ඇතිරිල්ල සකස් කළ මම ඇඳේ දිග හැර දමා තිබූ දිනපොතද රැගෙන කාමරයේ විදුලි පහනද නිවා දමා මේසය මත තැබුවෙමි. එහි තිබූ මේස ලාම්පුව දල්වා ගත් විට, දින පොතක් ලිවීමට හොඳම පරිසරය මා වටා ගැවසී ගත්තේය. මේසය ඉදිරියේ වූ කවුළුව විවෘත කර ගත් මා හට සිහිල් සුළං රොදක පහසද ලැබිණි. මගේ දෙනෙත් ඉදිරියේ වූයේ වැන්ඩන්බර්ග් හි රාත්‍රියේ දැල්වෙන පහන් කණුත්, පයින් රුප්පාවට ඉහලින් වළාකුළු වලින් වැසී ගිය අඩ සඳත්ය. එය ඉතා මනරම් රාත්‍රියක් වූයේ හමා ආ සීතල සුලං රැළි නිසාවෙන්මදෝ කියා සිතිණ. කළුවරේ අහසේ පියඹා යන වැහි ලිහිණි හඬ මගේ කන වැකීමෙන් නැවතත් වැසි දිනක් උදා වේදෝ යැයි අසුභ සිතිවිල්ලක් පහල විණි. වැන්ඩන්බර්ග් යනු වැසි අඩු පෙදෙසකි. එහෙයින් කලාතුරකින් බට මේ වරුසාවද සැමගේම සිත් සනහා ලන්නට හොඳ උත්සාහයක් දැරුවද එය නිෂ්ඵල වූයේ සිදුවී ඇති අනතුර හා විපත්තිය නිසාවෙන්ම විය හැක. මෙහි සිටිනා බොහෝ දෙනා වර්ෂාවට සාප කරන්නට වුවද බැරි නැත. එක දෙක වැටුණු වැහි පොද දැන් නැත. අහස පැහැදිලි වී ගෙන අවුත් තරු කීපයකට හිස ඔසවා එබිකම් කරනට ඉඩ සලසා දී ඇත්තේ හරියට මා දිහා බලා ඉඟි බිඟි පානා හුරුබුහුටි කෙල්ලන් මෙනි. "ඇත්තටම ඒ තරුවක් මගේම වුණා නම්..." මට සිතුණු අවස්ථා එමටය. එහෙත් එය කෙතරම් බොලඳ සිතුවිල්ලක්ද?

*****

No comments:

Post a Comment

"රිදී අසිපත" කතාවෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත කතා පුවතක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in this story, "Ridee Asipatha (The Silver Sword)" are fictitious and a creation.