ප්‍රබන්ධයක් ලෙසින් රචනා වෙන මෙම බ්ලොග් පිටුවට මිතුරු ඔබ සැවොම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා හා ප්‍රශංසාවන් පළ කරන අතරතුරේදීම පාඨකයෙක් විදියට මේ කතාවත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා. මේ කතාව සාර්ථකව ඉදිරියට ගෙන යන්න ඒක ගොඩාක් ලොකු රුකුලක් වේවි...

Saturday, May 8, 2010

රිදී අසිපත - 1 වන කොටස

මුළු පලාතම අන්ධකාරයේ ගිලී ගොස් තිබිණ. හමන හැම සුළං රොදකම ගැබ්ව තිබුණේ සැඟවුණු අවිනිෂ්චිත බවකි. මේ වන විටත් මධ්යහහ්න දොළහේ කණිසම වැදී විනාඩි පහලවක් පමණ ගත වෙලා හමාරය. මම තවමත් බෙන්විල් පාරේ ඇවිදගෙන නිවෙස බලා යන අතර මගය. මා සතුව තිබුණේ මගේ පොත් බෑගයත් මට උපන්දිනේට ලැබුණු බයිසිකලයත් පමණය. බයිසිකලයට නැගී එනවාට වඩා එය තල්ලු කර ගෙන පයින්ම ගෙදර යෑම මගේ විනෝදාංශයක්ව වී තිබිණ. බොහෝ වේලාවට එය විනෝදාංශයකටත් වඩා විනෝදකාමි පුරුද්දක් වූවා කීවොත් නිවැරදියි. එය මම බොහෝ අවස්ථාවන් වලදී සිදු කලේ මගේ මිතුරෙකු සමගින් පාසලෙන් පිටත්ව නිවෙස් බලා යන අතරතුරේදිය. එනමුත් අද දින මගේ මිතුරා ‘කෙවින්’ ඔහුගේ පියා ද සමගම වේලාසනින්ම පිටත්ව ගොස් තිබූ හෙයින් තනිවම ම ඒමට මට සිදු විණි.

එන අතරතුරේදී මගේ හිස මතට කුමක් හෝ පතිත වූවාක් මෙන් දැනිණ. ඒ වෙනයම් කිසිවක් නොව වැහි බිඳුය. හිස අතගා ඉවතට ගෙන අත්ල දෙස බලා සිටි මා හට මහා වරුසාවක සේයාවක් තේරුම් ගියේය. වැස්සෙන් බේරීමට මගේ ගමන මම ඉක්මං කළත් වැස්සේ වැඩි වීමක් නොපෙන්වූ හෙයින් හිටි ගමනේම රැඳෙන්නට මම තීරණය කළෙමි. ඒත් වැඩි වේලාවක් යාමට මත්තෙන් වැහි බිඳු වල වෙනසක් තෙරුම් ගැනීමට සුදුසු වාතාවරණයක් නැති බව මට වැටහුම් ගියේ, බින්දුවෙන් බින්දුව වැටුණු පොද වැස්ස දරුණු ආකාරයට වැඩි වූ බැවිණි. පාරේ හිටි අතලොස්සක් පමණ දෙනා ඒ මේ අත පිස්සු බල්ලන් මෙන් දුවනා ආකාරය මට යාන්තමට මෙන් මගේ දෑස් අඩක් වැසෙනා අන්දමින් පැලඳ සිටි හිස් වැසුම පහලින් දැකීමට ලැබිණි. සතියේ සෑම දිනයකදීම උදෑසනට දකිනා දර්ශනය අද සවස් යාමය උදා වත්ම දකින්නට ලැබීම එතරම්ම සුභදායක ආරංචියක්දෝ කියා මට සිතා ගත නොහැකි විය.

මගේ වේගය වැඩි වී ඇති බව මට ඉවෙන් මෙන් වැටහිණි. ඇත්තෙන්ම මා වේගය වැඩි කරන්නට අත්තේ පාරේ හිටි මිනිසුන් අනුකරණය කරන්නාක් මෙනි. නමුත් යාර විස්සක්වත් යාමට මත්තෙන් මගේ දෙපා වලට මින් කිසි විටෙකත් නොදැනුන හැඟීමක් දැනිණ. පොලොවේ දෙදරුම කුමක්ද නැතහොත් වෙනත් යමක්ද කියා හිතා ගැනීමට අපහසු යමක් දෙපා යටින් ගැඹුරු පොලෝ පත්ලෙන් හට ගැනිණ. මඳ වේලාවක් නිසොල්මනේ නැවතී සිටි මම නැවත වතාවක් ඒ දෙදරුම අත්දැකීමට කැමැත්තක් දැක්වීමි. එකෙණෙහිම ඒ දෙදරුම නැවතත් මතු වී මගේ දෙපා වෙවුලවන්නට විය. දැන් නම් මාගේ හිතේ පොඩි චකිතයක්ද හට ගෙන තිබුණි. මම වහාම මගේ බයිසිකලයට ගොඩ වී පාගන්නට වුනෙමි. "භූමි කම්පාවකට බය වෙන්නේ මොකටද?" කියා මම මගේ හිතට කියා ගත්තේ හිතේ ඇතිව තිබූ නොසන්සුන් බව මග හැරවීමටදෝ කියා සිහින් ලැජ්ජාවක්ද විය.

පාර වැහි බිඳු වලින් සම්පූර්ණයෙන් තෙමී ගියේය. එබැවින් මඳ ලිහිසි ස්වභාවයක් තිබූ බැවින් හිතුවාට වඩා වේගයෙන් බයිසිකලය පෑගීමට හැකි නොවිණ. පාරේ පසෙකින් පිහිටා තිබූ ‘බෲක්’ මහතාගේ ස්ටෝරු කාමරය ඉදිරියෙන් දිස් විය. අලුතින්ම ලැබුණු බයිසිකලය වැස්සට තෙමා ගන්නට වැඩි කැමැත්තක් මට නොතිබිණ. එහෙයින් මා කෙලින්ම බෲක් මහතා වෙතට පෑගුවේ බයිසිකලය එහි ගාල් කොට ඉතිරි දුර පයින් යාමට සිතා ගෙනය. බෲක් මහතා මගේ පන්තියේ එකට ඉගෙන ගන්නා මිතුරියකගේ පියාය. ඒ හේතුවත්, මගේ පියාගේ අතිජාත මිතුරෙකු වීමත් බෲක් මහතා මාව හොඳින් දැන හැඳිනීමට හේතු කීපයක් විය. වැස්ස තුරල් කරන්නාක් මෙන් පෙනී ගිය නමුදු එය එසේ නොවන බව ඈතින් අහසේ දිස් වන අකුණු රේඛා වලින් පෙනී ගියේය. මා හැඳ සිටි ජැකට්ටුවේ පිටුපසින් සම්බන්ධව තිබූ හිස් ආවරණයද හිස් වැසුමට උඩින් පැළඳ ගත් මා බෲක් මහතාගෙන් ලද කුඩයක්ද රැගෙන ඔහුට සමු දී ඉක්මණින් නිවස බලා ඇවිදීමට පටන් ගත්තේය. අසල ‘පයින් රුප්පාවට’ වැදුනු අකුණක ශබ්ධය නිසාදෝ මගේ ඇවිදීම දිවීමකට පෙරලිණි.

No comments:

Post a Comment

"රිදී අසිපත" කතාවෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත කතා පුවතක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in this story, "Ridee Asipatha (The Silver Sword)" are fictitious and a creation.