ප්‍රබන්ධයක් ලෙසින් රචනා වෙන මෙම බ්ලොග් පිටුවට මිතුරු ඔබ සැවොම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා හා ප්‍රශංසාවන් පළ කරන අතරතුරේදීම පාඨකයෙක් විදියට මේ කතාවත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා. මේ කතාව සාර්ථකව ඉදිරියට ගෙන යන්න ඒක ගොඩාක් ලොකු රුකුලක් වේවි...

Thursday, May 20, 2010

රිදී අසිපත - 9 වන කොටස

ගතවූ නිමේශයෙහිදී අම්මා නිවසට පැමිණියේ දැඩි තෙහෙට්ටු ස්වභාවයකිනි. ජීප් රථය අප වත්තට ඇතුළුවත්ම මා ගොස් දොර විවෘත කළේ ඇයව දොර ලඟ රඳවා තබා තවත් වෙහෙසට පත් නොකිරීමටය.

"පුතා තවම නිදි නැද්ද? දැන් මගෙ හිතේ එකටත් කිට්ටුයි."
"අම්මව එක පාරක් හරි තුරුල් කර ගන්නේ නැතිව කොහොම නිදා ගන්නද ඉතින්. ඒ පාළුවෙන් තමයි හිටියේ මෙච්චර වෙලා එනකං."
"අනේ අනේ, තාම පොඩි කාලෙ පුරුදු ඇරිලා නෑ නේ? තවම පොඩි එකා වගෙයි."
"අම්මා තමයි ඉතින් ඔන්න මාව නරක් කරලා තියෙන්නේ." මම හීටරය ක්‍රියා කරවමින් කියුවෙමි.
"හරි ඇලන්. දැන් නිදන්නකෝ ගිහින්. මෙන්න ඔයාගෙ තුරුල."
මා ඇයව බදා ගනිද්දී දැනෙන උණුසුම වෙන කිසිවෙකුටවත් දිය නොහැකි බව නොසැඟවීමට දෙයක් නොවේ.


මාද සුව නින්දක් බලාපොරොත්තුවෙන් කාමරය වෙත ඇදුනෙමි. මේසය මත දැල්වෙමින් තිබූ විදුලි පහන නිවා දමන විට මා ලියමින් සිටි දින පොතෙහි පිටු, කවුළුවෙන් ආ සුළං රැලි නිසා පෙරලී තිබිණි. පොත් සලකුණක් වෙනුවට මා තබා තිබුණේ ඇගේ සේයාරුවකි. ඇය කුඩා කලදී ගත්තක් වුවද තවමත් මා ලැමිනේට් කොට තබා ගෙන සිටි හෙයින් ආරක්ෂා වී තිබුණේ පරණ දේවල් වල අගය තවත් මතු කරමිනි. ඇඳට බට මා නිදන්නට සැරසුණේ කොට්ටයක්ද තුරුලට ගනිමිනි. ඇස් පියවීගෙන එන විටම මගේ ජංගම දුරකථනය නාද විණි. ඒ ජෙනීය.

"ඇලන්, අයියා... අපිට පොඩි කරදරයක් වෙලා."
"ජෙනී මොකද මේ මහ රෑ? මොකද්ද ප්‍රශ්නේ?"
"අපේ තාත්තට එක පාරටම ෂොක් එකක් වගේ හැදිලා. මට නම් හිතා ගන්නවත් බෑ මොකද කරන්නේ කියලා. මම අයියත් එක්ක එයාව 'සිටි හොස්පිටල්' එකට ගෙනාවා."
"මුකුත් කරදරයක් නෑ නේද තාත්තට?"
"එහෙම විශේෂ මුකුත් ගැන තවමත් දොස්තර කීවෙ නෑ සුදු අයියා. එයාට හදවත් ප්‍රශ්නයකුත් තිබුණනේ. ඒක ඔයා දන්නව නේ. හදිසියේම මොනා වුණාද මන්දා."
"හරි ජෙනී ඔය කලබල නොවී ඉන්න. එඩීත් ඉන්නව නේ. කිසිම දේකට හිත කලබල කර ගන්න එපා. මම දැන්ම එන්නම් ඔහේට. බය නොවී ඉන්න හොඳ ළමයා වගේ. තාත්තට ඉක්මණට හොඳ වෙයි."

මා එසේ කීවේ ඇගේ හිත සැනසීම
වුවත් එය මා හිතට එක්කඟව නොකියූ බැව් මට දැනිණි.

"අම්මාට කියනවාද නැද්ද?" මගේ හිතේ වූයේ ප්‍රශ්නාර්ථයකි. වෙහෙස වී ගෙදරවුත් සුව නින්දක් ලබන අතරේදී ඇයට බාධා කිරීමට මා කැමැත්තක් නොදැක්වූයේ ඇය මත තවත් ප්‍රශ්න නොපැටවිය යුතු නිසාය. මා හනික ඇඳෙන් බැස ඇඳුම් අල්මාරියේ එල්ලා තිබූ ඩෙනිම් කලිසමක් හා ටී ෂර්ට් එකක් පැළඳ පහළ මාලයට බැස ආවේ කොල කැබැල්ලක පණිවුඩයක් ලියා තැබීම සඳහාය.

"අම්මා, මම යාළුවෙක්ගේ වැඩකට හදිසියේම එළියට යනවා. උදේට කෝල් කරන්නම්. දෙවි පිහිටයි ඔයාට - මීට ඇලන්."

පණිවුඩය ලියූ කොළ කැබැල්ල මේසය මත තිබූ මල් පොකුර රැඳවූ අසුරණයට යට කළ මා දොරත් විවර කොට ගෙන එළියට පිය මැන්නේ හොරෙකු හොර රහසේ නිවසකින් සොරා කා පැන යන්නාක් මෙනි. ඒ කාගෙ කාගේත් හොඳටය. දොර හිමින් වසා මාගේ යතුරු පැදියට ගොඩ වී එය පණ නොගන්වාම පයින් රුප්පාව අසලටම දෙපයින් බිම ඇණමින් රැගෙන ආවේ කිසිදු හඬක් ඇති නොවී අම්මාගේ නින්ද රැක ගනු පිණිසය. ඉන් පසු මගේ කුරුල්ලා හ
මා පණ පොවා, සිටි රෝහල වෙත පියාඹා ගියෙමි. නිවසින් පිටත් වෙද්දී වේලාව හරියටම අළුයම දෙක වී හමාරය. සුව නින්දක් ලැබීමට කැමැත්තෙන් සිටියද එය ගැන වැඩි තැකීමක්ද නොතිබුණේ ඇය සන්තාපයෙන් සිටි බැවින් විය හැකිය.

ලොම්පොක් හරහා වැටී තිබූ ප්‍රධාන මාර්ගයෙන් හරස් පාරකට හරවා කිලෝමීටර විස්සක පමණ දුරක් ගෙවා ගිය විට හමුවන්නේ 'කැල්වරි චැපල්' දේවස්ථානයයි. ඊට යාබදව ඇත්තේ සිටි රෝහලයි. ඒ වෙත පැමිණෙද්දී අළුයම දෙකත්, තව අඩ හෝරාවකුත් ගත වී තිබිණ.

Tuesday, May 18, 2010

රිදී අසිපත - 8 වන කොටස

කෙමින් කෙමින් වැන්ඩන්බර්ග් නින්දට වැටෙමින් පැවතිණ. එක දෙක නිවෙන ඈතින් දිස්වන ගොඩනැගිලි වල විදුලි පහන් වැන්ඩන්බර්ග් හි තිබූ අඳුරු ස්වභාවයට තවත් අත්වැලක් සැපයීය. මා හට කවුළුව හරහා දැක හැකි වූයේ පාරේ දැල්වෙමින් තිබූ විදුලි පහන් පමණකි. සමහරක් විට වි මම ඉහල මහලේ සිටි බැවින් විය හැකිය. නිදිමතක් අහලකවත් නොතිබිණ. එහෙත් දැඩි පාළුවක් සිතට දැනෙන්නට විය. අම්මාගේ කටහඩත්, ජෙනීගේ සිනහවත් නොමැතිව මේ රාත්‍රිය ගත කිරීමට මට සිදුව ඇත්තේ තනිවමය.

‘ජෙනී පීටර්ස්’ මගේ කුඩා කළ සිටම හොඳම මිතුරියකි. මා සමග එකම විශ්ව විද්‍යාලයේ ඇයටත් ඉගෙනීමට අවස්ථාවක් උදා වූයේ මාගේ පෙර පිණකටදෝයි මට හැඟේ. මන්දයත් ඇය කෙරේ මා සිතේ තිබූ මිතුරුකමටත් වඩා කැමැත්තයි. නමුත් ඈ සමග එකම උපාධිය කිරීමට මා හට වරම් නොලැබිණ. ඒ ඇය මට වඩා දෑවුරුද්දක් බාල වීමය. ඒ ඇය මගේ හොඳම මිතුරු ‘එඩී පීටර්ස්’ගේ සොහොයුරිය ද වීමෙනි. මේ ම්තුදම කුඩා කළ සිටම දළුලා වැඩුණේ එඩී සමග තිබූ ගැඹුරු මිත්‍රත්වය නිසාවෙනි. නිතර ඔහුගේ නිවසට ගිය මා හට ඇයද සෙමින් කිට්ටු විය. නමුත් ඒ සොහොයුරියක් විලසටම පමණකි. එකම විද්‍යාලයේ ඉගෙනුම ලැබුවද ඇයව පාසල් වේලාවේදි මුණ ගැසීමට වැඩි අවස්ථාවක් නොලැබුණේ අප විද්‍යාලයේ බාලිකා හා බාලක වශයෙන් වෙන් කර තිබිම නිසාය. එනම්, වැන්ඩන්බර්ග් හරහා වැටෙන ප්‍රධාන මාර්ගයෙන් එක් පසෙක බාලක විද්‍යාලයත්, අනෙක් පස බාලිකා විද්‍යාලයත් පිහිටීමය. නමුත් එය ඇසුරකට බාධාවක් නොවීය. ඒ මින් වසර කීපයකට පෙර, එනම් පස් වසරකට පෙරදී මට මුණ ගැසුණු කෙවින් මිතුරා මැගේ අසල්වැසියෙක් වූ හෙයින් එකල සිටම අප පාරේ ගමන් ගත්තේද එකටම වූ හෙයිණි.

මේ සිහිල් මිතුදම ආදරයකට පෙරලෙමින් තිබුණේ මීට වසරකට පෙරාතුව සිටය. ඒ පිළිබඳව මුලින්ම මගෙන් විමසූයේ ඇයයි. තඹ පැහැති උරහිස දක්වා දික් වූ කෙස් වැටියෙකින් හෙබි ඇය, සිනා සෙද්දි දසන් පෙළ මුතු කැට පෙළක් මෙන් දිස් විණ. මේ තාක් කල් දැක තිබූ ලස්සනම දසන් පෙළ ඇත්තේ ඇය සතුව බව මගේ සිත පමණක් දන්නා රහසකි. සිහින් ඇහි බැමි යටින් වූයේ මුව පොව්වෙකුගේ වැනි අහිංසක දෙනෙත් යුගලයයි. අළු පැහැ ඇස් ඇගේ අහිංසකත්වයත්, හුරුබුහුටි පෙනුමත්, රාගන්විත බැල්මත් තව තවත් ඔප් නංවයි. එවන් අයෙකු මිතුරියක වීම පවා පෙර පිණක් පළ දීමක් වැනිය. ඒ පිළිබඳව දෙවියන්ට ස්තූති කළ වාර නැතුවාම නොවේ. නමුත් ඇය සමග තිබූ යාළුකම ආදරයකට පෙරළුණු හැටි සිහි වෙද්දී හීනයක්දෝ යැයි සිතේ.

එඩී මේ පිළිබඳව දැන ගත්තේ මින් මාස පහකට පමණ පෙරදීය. ඔහු එය දැන ගැනීම පිළිබඳව මගේ සිතේ කිසිදු අකමැත්තක් නොවීය. නමුත් ජෙනී ඒ පිළිබඳව වැඩි කැමැත්තක් පළ නොකළාය. එහෙත් දැන් තත්ත්වය වෙනස් වී ඇත. මගේ හොඳම මිත්‍රයා මට කෙසේ නම් බාධකයක් පනවන්නද? ඔහුට තම නැගණිය මෙන්ම මා පිළිබඳව ද තිබුණේ දැඩි විශ්වාසයකි. ඒ බව මා දැන ගත්තේ එකලදීමය. වරක් පාසලේදී ඔහු මගේ කරට අත දමා ගෙන කැන්ටිම වෙත යන අතර තුරේදී, "මම මගේ නංගිව කවදා හරි දෙනවා නම් දෙන්නේ උඹ වගේ එකෙක්ටම තමයි. ඒකේ කිසි සැකයක් නෑ බං" යැයි පැවසූ හැටි අදටත් මට මතක තියේ. මේ වන විට ඒ වචන සත්‍යයකට පෙරළී ඇත. දෙදෙනාගේම ධෛවයේ ලියැවී තිබූ දේ දැන් දළු ලමින් වැඩෙමින් පවතී. දෙවියන් වහන්සේගේ කැමැත්ත එය විය හැකිය.

අවසන් විභාගයෙන් අනතුරුව ඇය දැකීමට හැකි වූයේ තුන් වරක් පමණි. ඉන් එක් වරකදී මට ඇයව මුණ ගැසුනේ නිදහස් දින සැමරුම වෙනුවෙන් පැවැත්වූ සැණකෙළියේදීය. මුණ ගැසීම එපමණකට සීමා වුවද දුරකතන ඇමතුම් වල නම් කිසිසේත්ම අඩුවක් නොවීය. එවැනිම අඩුවක් දැණුනේ මෙවන් රැයකදී ඇයත් නිහඬව සිටියහොත් පමණි. රාත්‍රී දහය පසු වෙද්දී සියළු වැඩ අවසන් කරන ඇය, නින්දට යන්නේ සුපුරුදු ලයාන්විත හඬින් මට "සුභ රාත්‍රියක්" කියා පතමිණි. දැන් මධ්‍යම රාත්‍රිය ගතවී ඇත. මීට මොහොතකට පෙරදී පහල තට්ටුවෙන් ඇසුණු ඔරලෝසුවේ කණිසම වැදෙනා හඬින් මම එය දැන ගතිමි.

රිදී අසිපත - 7 වන කොටස

අහස් කුස තුල අන්ධකාරයේ ගිළුණු මුතු කැට අහුරක් මෙන් දිස් වන තරු පොකුරු සඳ රැස් අභිබවා ඉදිරියට ඒමට කරන තැත මා හට යාන්තමට මෙන් කාමරයේ අඩවල් කර තිබුණු කවුලුවෙන් පෙනෙන්නට විණි. පෙළක් වෙලාවට ඒ තරු මොනවා හෝ කියා ගන්නට නොහැකිව, තද කරන් සිටිනා වූ, කාත් කවුරුවත් නොදන්නා කතාවක් තියෙනවා යැයි හැඟෙයි. පුංචි කාලයේ නම් අම්මාගෙන් ඇසූ "එකමත් එක රටකින්..." කියා පටන් ගත් කතාන්තරය අදත් ඒ වගේම අසන්නට ලැබුණා නම් කෙතරම් අගනේද කියා මට දැනී යයි. ඒත් තවමත් අම්මා ගෙදර පැමිණී නොමැත. සාමාන්‍යයෙන් මේ වේලාව වෙද්දී අම්මා ගෙදර පැමිණ සිටෛය යුතුය. ඇය ආ සැනින්ම මම ගෙදර හිටියොත් දුව ගොස් අම්මාව බදා ගැනීම මගේ පොඩි කාලේ සිටම පැවති පුරුද්දකි. ඒත් දැන් නම් නරකකට හිටලාදෝ කියාත් පෙලක් වෙලාවට මට සිතුණු අවස්ථාවන් නැතුවාම නොවෙයි. මොකද අවුරුදු පහක්ම විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ නතර වී ගත කළ කාලයේදී අම්මා ලඟ නැතුවාට ඒ අඩුව සපුරා ගන්නට බැරුව මම හිතෙන් විඳි දුක හරියට කිසිදු මාළුවක් නැතිව ලුණුත් සමග බත් පමණක් කනවා වැනිය. තාත්තා ගැනද එසේමය.

දැන් නම් ඒ දුෂ්කර කාලේ ගත වෙලා හමාර වෙලා ගොඩක් ලොකු කාලයකුත් ගෙවිලා ගිහින්. දැන් මම විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙකි. පොඩි කාලයේ ඒ සුරතල් වීම් අදට නම් ඔබින්නේ නැති බව මම දනිමි. ඒත් ඉතින් අම්මාත් සමග ගත කරපු ගොඩක් අවස්ථාවන් මගේ සතුටත් එක්ක බොහෝමත්ම ලඟින් සම්බන්ධ වුණු බව නම් ඇත්තක්. එයා වෙනුවෙන් කරන්නට තිබුණු ගොඩාක් දේවල් මගේ විශ්ව විද්‍යාල ගමනත් සමගම මග හැරුණාදෝ කියාත් හිතට පොඩි සැකයක් ඇතිවෙනවා. ඒත් මුලදී මෙන් ගෙදරින් පිට සිටින්නට දැන් වැඩි අවස්ථාවක් උදා නොවෙන නිසා ඒ හැඟීම යටපත් කර ගන්නට ගත හැකි හැම පුළුවන් උත්සාහයක්ම ගන්නවා. උපාධි ප්‍රධානෝත්සවේට ඇත්තේ තවත් සති කීපයක් පමණි. තාත්තාත් ව්‍යාපාරික ගමනකට විදේශ ගත වූ බව අම්මා පැවසුවාය. ඔහුට මගේ උපාධි ප්‍රධානෝත්සවේට සහභාගී වන්නට හැකි වෙනු ඇතැයි සිතමි.

හැරී තාත්තා අදින් තුන් මාසයකට පෙරාතුව විදේශ ගත වූයේ අම්මා හට ඔහුගේ ව්‍යාපාරයේ තැන ලබා දෙමිණි. එහෙයින්දෝ ඇය තවමත් ගෙදර පැමිණ නැත්තේ. තාත්තා නැවත පැමිණෙන දිනය තවත් දෙසතියකින් උදා වේ. මා ආසාවෙන් සිටින්නේ මගේ උපාධිය ලබා ගන්නා අසස්ථාවට ඔහුද සම්බන්ධ කර ගැනීමටය. ඒ කාලය වන විට ඔහුගේ මෙහි ගමන පිළිබඳ කිසිදු විනිශ්චයක් කරනට හැකියාවක් නැත්තේද ඔහුගේ ව්‍යාපාරික වැඩ වල දින නියමයන්ගෙන් තොර වූ බව නිසාවෙනි. මගේම තාත්තා නොවුණද ඔහුට එම තැන මා ලබා දිය යුත්තේ ඔහු මා වෙනුවෙන් දැරූ වියදම් වලටත් වඩා උනන්දු කරවීම් වලටය.

ලොස් ඇන්ජලීස් වල සුඛෝපභෝගී ජීවිතයක් ගතකරනා මගේ තාත්තා හට නියමව තිබුනේ අප හට වන්දි මුදලක් ගෙවීම පමණය. ඔහු වසරකට වතාවක් මාවත් නංගීවත් බැලීමට වේලාවක් වෙන් කර ගැනීමද මට සිතා ගත නොහැකි පුදුමයක් වූයේ, ඔහු අප සමග සිටි කාලයේදී නිවසේ සිටි කාලය බෙහෙවින් අඩු වූ නිසාවෙන් විය හැක. එනමුත් අපේ පුංචි පවුල වැන්ඩන්බර්ග් වල ගත කළ සාමාන්‍ය ජීවිතය අපට නිරතුරුව සුවදායක වීය. ඒ අන් කිසිවක් නිසා නොව, පවුලේ තිබූ සමගියත් දෙමව්පියන්ගෙන් මටත්, මිෂෙල් නංගීටත් ලැබුණු ආදරය හා කරුණාව නිසාම විය යුතුය. පසුගිය වසර පහ තුලදී අප නිවසේ රණ්ඩුවක් සිදු වූ අවස්ථාවක් මගේ මතකයට නොනැගෙන තරම්ය. කුඩා මත වාදයන් විටින් විට ඇති වූවත් ඒවා පහව යන්නේ සමහර විටෙක දෙදෙනාගේම විහිළුවක් නිසාමය. එවන් හොඳ වටපිටාවක් අප නිවසේ පැවතුණා කීවොත් වඩා නිවැරදිය. කල් යත්ම හැරී තාත්තාගේ වැඩ වලට අම්මාද සම්බන්ධ වූයෙන් ඇයත් දැන් මඳක් කාර්යබහුල වී ඇත. එය එතරම් ගැටළුවක් නොවන්නේ අප සිටි මට්ටමට වඩා අද හොඳ තැනක සිටීමය.

Friday, May 14, 2010

රිදී අසිපත - 6 වන කොටස

“හොඳ වෙලාවට කාටවත් කරදරයක් නැත්තේ. මුලින්ම මේ ප්‍රවෘත්තිය ඇහුවම මට බය දෙගුණ තෙගුණ වුණා. මොකද අම්මලා ශොපිං ගියේ ලොම්පොක් වලට නිසා.” මම මගේ හිතේ සැඟව තිබූ බිය පහ කර ගතිමි. “දෙවියන්ට ස්තූති වෙන්න අපි අද යහතින් පුතේ. ඔයාල දෙන්නම හින්දා වෙන්න ඇති දෙවියෝ අපිව බලා ගන්න ඇත්තේ, ඒ වගේම ඔයාල දෙන්නවත්. අපි හිතුවාටත් වඩා ගොඩාක් වෙලා අපිට පාරේ එහෙ මෙහෙ දුවන්න වුණා වාහනේ ප්‍රශ්ණ නිසා. විල්සන් අංකල් නොහිටියා නම් අද අපිට පාරෙයි ඉන්න වෙන්නේ ඇලන්. ඒ මදිවට ඔයාලට කෝල් එකක්වත් ගන්න බැරි තරමට ටෙලිෆෝන් ලයින් බිසී.” තාත්තා හති අරිමින් කීවේය. දෙදෙනාම අපි දිහා අනුකම්පාවෙන් බලා සිටිමින් කතා කරන බව දුටු විට මගේ සිතටද කණගාටුවක් ඇති විය. ඒත් දෙවියන් වහන්සේ ඒ දෙදෙනා බේරා දී අපට කළ උදව්වට තුති පුද කළ යුතුමය.

ඔවුනගේ මැලවුණු මූණු සිනාවකට නැංවීමට සිතා මම නංගීගේ විකාර වැඩ ටිකක් කීමට පටන් ගතිමි. “අම්මා දන්නවද? මෙයා දැන් මේ ඉන්නේ අම්මලා ඉන්න නිසා. ඉස්සෙල්ලා හිටියේ බෝනික්කෙකුත් බදා ගෙන ඇඳ යට. අනේ යනවා යන්න අයියේ… අම්මේ මෙයා මේ බොරු කියන්නේ. ඒක විතරක් නෙවෙයි, ගොරවද්දි දුවන් ආවෙ මගෙ ලගට. වෙන වෙලාවට රණ්ඩු කෙක්ක වගෙයි, වහිද්දි මී හාමිනේ කෙනෙක් වගෙයි.” මම නංගීව තවත් ඇවිස්සුවෙමි. නංගී නැගිට මට පහරක් ගැසීමට එන වගක් පෙණුන හෙයින් මාද නැගිට දුවන්නට සැරසුනෙමි. කියුවාක් මෙන් නංගී මා පසු පස දිව ආවේ මා මේසය වටා දුවද්දීය. “හා හා දෙන්නගේ රණ්ඩුවයි විහිලුයි නවත්තලා කාලා ඉවර වෙන්න” හැරී තාත්තා මෙසේ කියද්දි අම්මා නංගීවද, තාත්තා මාවද නතර කර ගත්තෝය. ඔවුන් අපට හැන්දකින් මගෙත් නංගීගේත් පිඟන් වල ඉතිරි වී තිබූ අවසාන කෑම කට කවන්නට වූහ. අපි කොච්චර ලොකු වුණත් ඒ දෙදෙනාට නම් අප තවමත් පොඩි ළමුන්ය. නිවසින් පිටතදී කෙසේ අප හැසිරුණද නිවසේදී නම් හොඳ කීකරු ළමයි ලෙසින් හැසිරීමට වග බලා ගත්තෙමු.

සියළු දෙනම රාත්‍රී භෝජනයෙන් අනතුරුව කාමර වලට පිය මැන්නේ “සුභ රාත්‍රියක්” යැයි එකිනෙකාට පතමිණි. සිදුවූ සියල්ලම චායාවක් සේ අප හිත් වලින් මැකී යන්නට පටන් ගෙන තිබුණු බවක් මට වැටහිණි. ඒ මන්ද යත් අම්මාත් තාත්තාත් අප සමග සිටීම විය හැකිය. ඔවුන් සමග සිටිනා විටදී කිසිදු හිත් තැවුලක් අපට නොදැනෙන්නේ ඔවුන්ගේ හොඳ කම නිසාම විය යුතුය. මා මගේ කාමරය වෙත පැමිණියේ දිනයේ අවසන් භාගයේ දෑ දින පොතෙහි වදනින් සිතුවම් කිරීමටය. ඒ මේ අත ගොස් තිබූ ඇඳ ඇතිරිල්ල සකස් කළ මම ඇඳේ දිග හැර දමා තිබූ දිනපොතද රැගෙන කාමරයේ විදුලි පහනද නිවා දමා මේසය මත තැබුවෙමි. එහි තිබූ මේස ලාම්පුව දල්වා ගත් විට, දින පොතක් ලිවීමට හොඳම පරිසරය මා වටා ගැවසී ගත්තේය. මේසය ඉදිරියේ වූ කවුළුව විවෘත කර ගත් මා හට සිහිල් සුළං රොදක පහසද ලැබිණි. මගේ දෙනෙත් ඉදිරියේ වූයේ වැන්ඩන්බර්ග් හි රාත්‍රියේ දැල්වෙන පහන් කණුත්, පයින් රුප්පාවට ඉහලින් වළාකුළු වලින් වැසී ගිය අඩ සඳත්ය. එය ඉතා මනරම් රාත්‍රියක් වූයේ හමා ආ සීතල සුලං රැළි නිසාවෙන්මදෝ කියා සිතිණ. කළුවරේ අහසේ පියඹා යන වැහි ලිහිණි හඬ මගේ කන වැකීමෙන් නැවතත් වැසි දිනක් උදා වේදෝ යැයි අසුභ සිතිවිල්ලක් පහල විණි. වැන්ඩන්බර්ග් යනු වැසි අඩු පෙදෙසකි. එහෙයින් කලාතුරකින් බට මේ වරුසාවද සැමගේම සිත් සනහා ලන්නට හොඳ උත්සාහයක් දැරුවද එය නිෂ්ඵල වූයේ සිදුවී ඇති අනතුර හා විපත්තිය නිසාවෙන්ම විය හැක. මෙහි සිටිනා බොහෝ දෙනා වර්ෂාවට සාප කරන්නට වුවද බැරි නැත. එක දෙක වැටුණු වැහි පොද දැන් නැත. අහස පැහැදිලි වී ගෙන අවුත් තරු කීපයකට හිස ඔසවා එබිකම් කරනට ඉඩ සලසා දී ඇත්තේ හරියට මා දිහා බලා ඉඟි බිඟි පානා හුරුබුහුටි කෙල්ලන් මෙනි. "ඇත්තටම ඒ තරුවක් මගේම වුණා නම්..." මට සිතුණු අවස්ථා එමටය. එහෙත් එය කෙතරම් බොලඳ සිතුවිල්ලක්ද?

*****

Wednesday, May 12, 2010

රිදී අසිපත - 5 වන කොටස

මඩ තැවරී තිබූ ඇඳුම් උනා දමා හොඳ උණුසුම් ජල ස්නානයකින් අනතුරුව දෙදෙනාම රාත්‍රී ආහරය පිළියෙළ කළේ වෙනදා මෙන් සුතුටු මුහුණකින් නොව, ඇදී ගිය හා පාළු ගරා වැටුණු කුඩා පැල්පතක තිබූ දුක්කිත ස්වභාවයකින් මෙනි. එදා නිවසේ රැඳී තිබුනේ නිහඬතාවකි. එය හාරා ඇවිස්සීමට දැඩි කැමැත්තක් තිබුණද එයට නිසි කාලය පැමිණෙන තුරු මා ගත කලේ මහත් නොඉවසිල්ලකිනි. “මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්… ලොම්පොක් හි හට ගත් භූ චලනයෙන් හානියට පත් වූ කුඩා පැල්පතක සිටි කුඩා දරුවෙකු දැන් සුළු මොහොතකට පෙර රෝහල්ගත කරන ලදී. මීට අමතරව කිසිදු හානියක් සිදුවූ අයෙකු ගැන තොරතුරක් හමු වී නොමැත.” පසෙකින් දමා තිබූ රූපවාහිණිය හඬ නැංවීය. මා බලාපොරොත්තු වූ මාතෘකාවට මගක් පෑදුණු බව මට සිතුණි. අම්මාත් තාත්තාත් වහා දුව විත් රූපවාහිණිය ඉදිරියේ රැඳුනේ අනතුරට මුහුණ දුන්නේ ඒ දරුවා පමණක් දැයි දැන ගැනීම සඳහාමද කියා මගේ සිතේ ප්‍රශ්ණාර්ථයක් ඇති විය. අම්මාගේ අත තාත්තාගේ අත වෙත යනු මා ඇස් කොණකින් දැක්කද එය මා හැඟවූයේ නොමැත. ඒ වෙන කිසිවක් නිසා නොව අම්මා යම් කිසි කම්පනයකට පත්ව ඇති නිසාවෙන් විය හැකිය.

“අම්මා කෝ අපේ වාහනේ? කාර් එක කොහේ නවත්තලාද ඔයාල ආවේ? නැත්තම් විල්සන් අංකල් එක්ක එන්න හේතුවක් නැහැනේ.. ඒකයි මම මේ බැලුවේ මොකද වුනේ කියලා. අංකලුත් කිව්ව ඇබැද්දියක් ගැන. ඒක නෙවෙයි, අද මම කොලේජ් ගිහින් එද්දි හොඳටෝම වැස්සා කවදාවත් නැතුව. ඒ විතරක් නෙවෙයි පොළොවත් දෙදරුවා දෙතුන් පාරක්ම. මට බයකුත් හිතුණා. මම වැස්ස වැඩි කරන්න කලින් බයිසිකලේ බෲක් අංකල්ගේ දිහා දාල දුවල ආව වැස්ස වැඩි කරන්න කලින්. කරන්ට් තිබුනෙත් නෑ එද්දි මම. ලොම්පොක් වලත් එහෙමද අම්ම? තාත්තා ඇයි ඔයාල වැඩි කතාවක් එහෙම නැත්තේ? එහෙට වැස්සේ නැත්ද?” මාගේ දීර්ඝ ප්‍රශ්ණ විචාරයකින් අනතුරුව හැරී තාත්තා යමක් කීමට සැරසුනේය. “පුතා අපේ වාහනේ ගන්න දෙයක් නෑ. ඒක නම් අපිට නැති වුණා. ඒ කොහොමද ඒ තාත්ත? විස්තරේ කියන්නම්කො කන ගමන්. දැන් දෙන්නම ඇවිත් ඉඳගෙන කන්න පටන් ගන්න. මිෂෙල් දුව කන්න ඕනෙ අද බඩ පිරෙන්න හරිද. සීතල දවස නෙ. හොඳට කාල උණුසුම් වෙන්න ඕනි. ෆිගර් එක නැති වෙයි කියල බෑ, නැත්තම් ඇගට කිසි ශක්තියක් නෑ.” අම්මා කතාව වෙනතකට ගෙනියනවාදෝයි කියා මට සිතිණ. "හරි දැන් ඉතින් අපි හැමෝම කනවනේ. නංගීත් ඉන්නවා, පවුල සම්පූර්ණයි. කියන්නකෝ මොකද වුනේ කියලා. ඔයාලට මොකද්ද වුණ කරදරය? කාර් එකට වුන කරදරය ගැන එහෙම." මා නැවත ප්‍රශ්ණ පත්තරය දිග හැරීමි.

ඇලන්, පුතා ඔයාට අද දවල් එද්දි දැනුණ පොළොව දෙදරීම භූමි කම්පාවක් විතරක් නෙවෙයි. ඒකෙන් ලොම්පොක් වල පොළොවේ ලොකු පැල්මක් ඇති වුණා." තාත්තා විස්තර කරද්දී මම, "ඔව් ඔව් මේ හවස ප්‍රවෘත්ති වලදිත් කීව ඒ ගැන නම්. දැන් ටිකකට කලින් කීවෙ තුවාල වෙලා තියෙන්නේ පොඩි ලමයෙක්ට විතරයි කියලා. ඉතින් ඉතින් ඊට පස්සේ මොකද වුණේ?" මා දැඩි කුතුහලයෙන් විමසීමි. "අපි වාහනේ නවත්තලා තිබුණේ ප්‍රධාන පාරේ නෙවෙයි. සාප්පුවේ රථ ගාලෙ ඇලන්. අපි ඒ වෙලාවේ හිටියේ සාප්පුවේ. ඔය වෙලාවෙදි තමයි භූමි කම්පාවක් සිද්ධ වුනේ. අපි අනූ නවයෙන් බේරුණේ වැටුණු රාක්කයකින්. කොහොමින් කොහොම හරි දිග පැල්මක් ඇති වෙලා තිබුණා අපි එලිය එද්දි. රථ ගාලත් ඒකට අහු වෙලා. අපේ වාහනේ පැල්ම ඇතුලට වැටිලා. ගොඩ ගන්නත් විදියක් නෑ මිනිස්සු දුවනව ඒ මේ අත. මොනා කරන්නද. ඒත් එක්කම දෙවෙනි භූමි කම්පාවත් ඇති වුනාම අර පැල්ම දෙබෑවුණු තැනින් ආයෙත් ලං වුණා. ඉතින් වාහනේට මොනා වෙන්න ඇත්ද කියලා හිතා ගන්න පුළුවන් නේ පුතා, දුව?

රිදී අසිපත - 4 වන කොටස

මේ, අවුරුදු පහක කාලය තුලදී මගේ අතින් ලියැවුණ දින පොත් වල පිටු අතර යද්දි සැඟවී තිබුණු දාහකුත් එකක් සිද්ධීන් අතරින් මෙවන් අවස්ථාවන් මගේ මතකයේ අදටත් ගැඹුරින්ම සටහන් වී තිබෙන්නේ ගලක් මත ඇඳි ඉරක් මෙනි. එසේ ගතවූ අතීතයේදී කිසිදු ගැටළුවක් ඇති නොවූවා නම් මොන තරම් දේවල් අපි අතරේ ඉතිරි වෙන්නට තිබුණාදෝ, නැතහොත් ගිලිහී යන්නට සූදානම්ව තිබුණාදෝ කියාත් පෙළක් වෙලාවට හැඟී යයි. නමුත් කාලයට සෑම දෙයක්ම තීරණය කරන්නට ඉඩ දී බලා හිඳීම තරම් නුවණට හුරු දෙයක් නැත්තේමය.

කෙමෙන් රෑ බෝ වී පැමිණියත් තවමත් අම්මලා පැමිණියේ නැත්තේ මන්දැයි මගේ සිතේ බයක්ද චකිතයක්ද ඇති විය. දොළකින් ගලා බසිනා සිහින් දිය සීරාවකින් මුව දොවා ගත් විට දැනෙන සිසිලසක් මුළු පරිසරයේම පැතිරී ගියේ වැහි පොද දෙක තුන බිම පතිත කරවමිණි. දැන් සවස හතට පමණ ඇතැයි හැඟිණි. නංගීද ඇගේ කාමරයේ බෝනික්කන් සමඟ හුරතල් වෙමින් සිටියාය. මමද මාගේ පාසැල් වැඩය අවසන් කර ගත්තේ අන්තර්ජාල සබඳතාව නැවතත් ලද හෙයිනි. අප සිටිනා වැන්ඩන්බර්ග් ගම නගරබද සීමාවෙන් ඈතට වන්නට ඇති හෙයින් මෙවන් අවස්ථාවන් වලදී පහසුකම් අඩු වීමත්, ඇණ හිටීමත් සිදු වීම අරුමයට කරුණක් නොවීය. නගරයට යන බසයකට ගොඩ වීමට ඇත්තේ අතලොස්සක පමණ පිරිසක් හෙයින් ගමනාගමනය සිදු වූයේ බෙහෙවින්ම බයිසිකල වලින්මය. නමුත් බස් සේවාවක් නොතිබුණාම නොවේ. එයද ඉතාමත් කාර්යක්ෂ්යම යැයිද කිව නොහැක. මන්දයත් දිනකට ඇති ගමන් වාර ගණන පහක් පමණක් වූ බැවිණි.

රාත්‍රී අටට පමණ රූපවාහිණිය පණ ගැන්වූ මා හට දැක ගත හැකි වූයේ ඇස් අදහා ගත නොහැකි සිදුවීමකි. එනම් වැන්ඩන්බර්ග් වලට යාබද “ලොම්පොක්” නගරයේ සිදුවී ඇති භූ විපර්යාසයක් ගැනය. දහවල් කාලයේදී මා දෙපයට දැණුන දෙදරීම එහි හටගත් භූ කම්පනයක් නිසාවෙන් බව දැනගත හැකි විය. එමෙන්ම එහි භූ විච්චේදනයකටද ලක් වී ඇති බව පෙන්වූ රූප රාමු වලින් මට පැහැදිලි විය. නමුත් කිසිවෙකුටත් අනතුරක් වූ බව හෝ විපතක් වූ බව සඳහන් නොවිණි. මෙය ඇසීමෙන් හා දැකීමෙන් මගේ සිතේ බියක් ඇති වූයේ අම්මා තවමත් නිවෙසට නොපැමිණි නිසාවෙනි. මන්දයත් අම්මාත් තාත්තාත් එනම් හැරීත් සාප්පු සවාරියේ ගියේ ඒ නගරයට බැවිණි. දුර ඇමතුම් ගත්තද පිළිතුරක් ද නොවූයෙන් තවත් බියක් හට ගැණින. හවස් යාමයේදී නම් සංඥා අවහිරතා තිබූ හෙයින් ඒ ගැන නොසිතා සිටි හැකි වුවත් දැන් එසේ නොව. තත්වය සහමුලින්ම කණපිට හැරවී ඇත්තාක් මෙන් හැඟී ගියේය. එසැණින්ම වාහනයක නලා හඬක් ඇසිණි. ඒ අපේ නිවසටය. “හම්මෝ ඇති යාන්තං ඇවිත්” කිය නිසඟයෙන්ම මගේ මුවින් පිට විණි.

මා හනිකට දිව ගොස් දොර විවෘත කළේ සුපුරුදු පුද්ගලයන් දෙදෙනෙකු දැකීමටය. ඒ අම්මාත් තාත්තාත්ය. නමුත් සාප්පු සවාරියේ ගිය අය පැමිණියේ ඇඳුම් වල මඩ තවරා ගෙනය. ඒත් සමඟම දැකගත හැකි වූයේ අපේ වාහනය නොව, හැරී-තාත්තාගේ මිතුරකු වන විල්සන් මහත්මයාත් ඔහුගේ වාහනයත්ය. “පුතාලා බය වුණාද අපි එන්න පරක්කු වෙද්දි? කෝ නංගී? දෙන්නම හොඳින් ඉන්නවා නේද?” අම්මාගේ හඬ අවධි විය. “අපි ගොඩක් බයෙන් හිටියෙ අම්මා. නංගී නම් කාමරයේ විකාර කර කර ඉන්නවා. ඔයාල ගිහ දිහාවක විගහට එන්න එපැයි. ඒත් ඇයි මේ මඩ ගෑවිලා? කෝ අපේ වාහනේ? ඔයාලා උදේ ගියේ වාහනේ නේද? ඉන්නකෝ පුතේ විස්තරේ කියන්නම්, ඔක්කොටම කලින් ගෙදෙට්ට ගොඩ වෙන්න දෙන්නකෝ." තාත්තා කීවේ මැලවුණු ස්වභාවයකිණි. "ස්තූතියි විල්සන්. වෙලාවේ හැටියට ලොකුම ලොකු උදව්වක් කළේ අපිට. අයියෝ හැරී ඕකත් දෙයක්ද. වුණු ඇබැද්දියේ හැටියට. මං එන්නම් එහෙනම්, සුභ රාත්‍රියක් වේවා! සුභ රාත්‍රියක් විලී. සුභ රාත්‍රියක් විල්සන් අංකල්.” සිදු වූ දෙය කුමක් දැයි දැන ගන්නා තුරු මගේ සිතේ තිබුනේ උනන්දුවකටත් වඩා කුතුහලයකි.

Sunday, May 9, 2010

රිදී අසිපත - 3 වන කොටස

වර්ෂාව දැන් වැන්ඩන්බර්ග් වලින් ඈතට ගොස්ව ඇතැයි මට සිතුනේ අකුණු හඬ දුරින් හා අඩුවෙන් කන වැකීම නිසා විය හැක. අපහසු ගෙදර වැඩක් දී නොතිබූ හෙයින් මට පාසලේ වැඩ ටික ඉක්මණින්ම ඉවර කර ගත හැකි වූවත් පරිගණකයෙන් සොයා ගත යුතු රූප කීපයක්ම වූ බැවින් අන්තර්ජාල පහසුකම් නැවත ලැබෙන තුරු මා හට ලත වීමට සිදු විය. ඒ අතරතුර කාලයේදී නිකන් සිටිනවාට වඩා වැඩක යෙදෙන්නට මගේ සිත කැමැත්තෙන් පසු වීය. කාලගුණයේ තිබූ සිසිල් බව ඒ හැඟීමට මොනවට පිළිතුරු සපයා තිබිණ. ඒ මොහොතේදී මට මතක් වූයේ මගේ සුපුරුදු දින පොතයි. පුරුද්දක් වශයෙන් දින පොත ලිවීම වයස අවුරුදු දොළහේ සිටම කර ගෙන ආ දෙයකි.ඒ පුරුද්ද මට ඇති වූයේ තාත්තාගෙනි. ඔහුද එලෙසින්ම දින පොතක් ලියනු මා කීප විටක්ම දැක තිබුණා. ඔහුට නම් එය ලිවීම කෙතරම් වැදගත්ද යන වග මට දැන් දැන් වැටහී යන්නේ ඔහු රැකියාවේ නිරත වූයේ ගුවන් හමුදාවේ බැවිනි. දිනෙන් දින එකතු වෙන රසවත් සිදුවීම්, හැල හැප්පීම්, දුක්බර අවස්ථාවන්, සතුට වගේ හැම දෙයක්ම හමුදා සේවයේ සිටින බොහෝ දෙනා හට වැදගත් සිදුවීම් විය හැක. එවැනි දින පොත් බොහෝමයක් පසු කලෙකදී වීර කාව්‍ය මෙන් ප්‍රකට වී ඇති අවස්ථාවන් කීපයක් ගැනම මා කියවා අසා දැන සිටියේය. ඔහුටද එය එසේම වන්නට ඇතැයි සිතමි. හතලිස් හැවිරිදි වූ ඔහු නමින් "ජෝන් කාටර්" විය. තඹ පැහැති හිසකේ තිබූ නමුදු ඔහුගේ උඩු රැවුල මඳක් කළු පැහැයට හුරු වූ තලෙළු සමකින් හෙබි පුද්ගලයෙකි. බොහෝ රළු ගති පැවතුම් පැවතුනද ඔහුගේ කාර්යබහුලත්වය නිසාම නිතර නිවසේ රැඳෙන්නට වේලාවක් තිබුණේද නැත. ඒ හේතුව නිසා මාත්, අම්මාත්, නංගීත් පමණයි නිවසේ බොහෝ විට එකට සිටියේ.

මට වයස දහ හතරේදී අම්මාත් තාත්තාත් පවුලේ ඇති වූ  ප්‍රශ්න හේතුවෙන් වෙන්ව සිටීමට තීරණය කරන ලදී. තාත්තාගේ කාර්යබහුලත්වයත්, ගෙදර දරුවන් පිළිබඳව ඔහුගේ සිතේ වැඩි යම් හැඟීමක් නොතිබුණි යැයි ඇගේ සිතේ ඇතිවූ ගැටළුත් නිරාකරණය වූයේ එම තීරණය නිසාය. නංගී ගැන ඇතිවූ යම් යම් ගැටළු නිරාකරණය කර ගැනීමටද ඒ තීරණයෙන් හැකි වන්නට ඇතැයි මගේ හැඟීමයි. මන්දයත් තාත්තා නංගී පිළිබඳව වැඩි කැමැත්තක් නොදැක්වූ බැවින් අම්මා ඒ පිළිබඳව හිතෙන් දුක් වූ අවස්ථාවන් අනන්තවත් මගේ ඇස වැටී ඇත. ඒ, නංගී එක කුසේ නූපන් නිසාවෙනි. මගේ බිහිවීමෙන් පසුව අම්මා කෙලි පොඩිත්තියක් දැකීමට කැමැත්තෙන් සිටි බව වරකදී මට පවසා ඇත. ඒත් ඇයට නැවතත් ගැබ් ගැනීමට ජීවිතේ කවමදාකදිවත් හැකියාවක් නැති බව වෛද්‍යවරුන් පවසා ඇති බැවින් තාත්තාගේද අනුමැතිය ඇතිව ඈ මෙවැනි තීරණයකට එළඹෙන්නට ඇතැයි සිතිය හැකිය. ඈ මටත් වඩා නංගී හට ආදරය කළ බව මා දනී. නංගී එවැනිම ආදරයක් මා හටත් පිදුවාය. ඇගේ හැම දේකදීම ආදරෙන් ඈ හට උදව් උපකාර කිරීමට මගේ හිතේ අකමැත්තක් නොතිබිණි. එය සහෝදර ප්‍රේමය විය හැකිය. අම්මාගේ ආදරය මා ලැබුවේ ඒ අන්දමින් කීවොත් වඩා නිවැරදිය.

ඉන් වසර කීපයකට පසුව ඔවුන් දෙදෙනා මාගේ පියාගේ ඉල්ලීමකට අනුව නීත්‍යානුකූලව විවාහ දිවියෙන් වෙන් වූහ. තාත්තා ජීවත් වුයේ වසර දෙකක්ම ඒ වන තුරු පිටස්තර සමාජයකය. ඒ ලොස් ඇන්ජලීස් වලය. එනමුදු ඔහුගේ කාර්යබහුලත්වය කිසිසේත්ම අඩුවක් වී නොතිබිණ. නමුත් ඔහු පොරොන්දු වූ අයුරින්ම අම්මා හට අධිකරණය විසින් නියම කළ සැළකිය යුතු වන්දි මුදලක් අත තැබුමට අමතක නොකලේය. ඒ කාලයේදී තාත්තා වෙනත් කාන්තාවක් සමග සම්බන්ධතාවක් ඇති කර ගෙන ඇති බව ඔහු විසින්ම අම්මා හට දුර ඇමතුමකින් පවසා තිබිණ. දික්කසාදයද සිදුවී ඇති බැවින් හා පසුගිය අතීතයේ සිදුවූ ගැටළු ගැන සිතමින් ඇය එය අනුමත කළා විය හැක. ඉන්ද වසරකට පසු අපේ ජීවිත වලට තවත් අමුත්තෙකු ඇතුළු විය. ඒ "හැරී බෙන්ජමින්" ය. ඔහු ව්‍යාපාරිකයෙක් වූ අතර අම්මාගේ ජීවිතයට එකතු වූ සහකරුවාද විය. ඔහු ඉතාමත් කරුණාවන්ත අයෙකු වූ හෙයින්ම මගේත්, නංගීගේත් හිත් දිනා ගැනීමට වැඩි කළක් ගත නොවිණි. අම්මාද ගමේ තිබූ කඩ වලට බෝතල් කර සැපයූ කල් පවත්නා ආහාර වර්ග වලින් ඉපයූ ආ
දායම ඔහුට නගරයටම ගෙන යා හැකි වූයෙන් නිවසේ ආදායම් තත්වය ද බෙහෙවින් වැඩි දියුණු වූ බව නොසඟවාම බැරිය.

Saturday, May 8, 2010

රිදී අසිපත - 2 වන කොටස

දහවල් දොළහේ කණිසම වැදී මේ වෙද්දී විනාඩි විස්සක් පමණ ගත වී ගොස් හමාරය. මට නිවසට පැමිණීමට හැකි වූයේ හිස පමණක් වැසි වතුරට නොතෙමා ගෙනය. ඇඳ සිටි දිග කලිසමත් කුඩේ අල්ලා ගෙන සිටි බැවින් අතුත් වැස්ස නිසා හොඳටම තෙත බරිත වී තිබිණි. පයින් රුප්පාවට බට අකුණේ හඬ තවමත් මගේ කන් තුල දෝංකාර දෙමින් පැවතිණ. එකක් පසුවට එකක් ලෙසින් සිදුවූ මේ සියලු සිද්ධීන් පිළිබඳව මගේ සිතේ හට ගත්තේ වෙනස්ම ආකාරයේ සිතුවිලි දාමයකි. අවුරුද්දකට දෙතුන් වතාවක් පමණක් වැසි වැටෙන 'කෝල්සිමිත්' වලට, මෙවර වැසි වැටුනේ මීට පෙර අවස්ථාවලදී වැසි නොවැටි සමයකදීය. මන්දයත් මේ ග්රී ශ්ම සමය නිසා. නමුත් කාළගුණ වාර්තාවේ පවා සඳහන් නොවුණු තත්වයක් ඇති වූ හෙයින්ද, මෝසම් කාලයත් නොවන බැවින් කාගෙ කාගේත් හිත් වලට මඳක් හෝ නොරිස්සුම් ස්වභාවයක් පැන නගින්නට ඇතැයි මට සිතේ.

මා ගෙදර එන විට සිටියේ නංගී පමණය. අම්මාත් තාත්තාත් සාප්පු සවාරියක යන බව ඉයේ කතා වෙනවා මට යාන්තමට මෙන් ඇසිණ. අද ඔවුන් යන්නට ඇත්තේද ඒ ගමන විය හැකිය. නිවස ඇතුලත නෙහෙවින් අන්ධකාරයට පත්වී තිබිණ. ගෙදරට පැමිණ සීනුව නාද කරත්ම කාමරයේ නිදා සිටි මගේ නංගී දිව අවුත් නිවසේ දොර විවෘත කළාය. ඇය වයසින් මට වඩා අවුරුදු දෙකක් බාලය. නමින් මිෂෙල් කාටර් විය. අම්මා ගෙදර නොසිටි බැවින් මුලු ගෙදරම ලොකු පාළු ස්වභාවයක් පැතිරී තිබිණ. කෙසේ නමුත් ඒ සියළු මනස්ගාත හිතෙන් ඉවත් කර ගැනීමට මා මගේ කාමරය වෙත තරප්පු පෙල මතින් පිය නැංගේය. සියළු ඇඳුම් උනා දමා නාන කාමරයේ හොඳ උණුසුම් ජල ස්නානයකින් පසුව ඇඟට දැනුනේ පුදුමාකාර සැහැල්ලු බවකි. සීත දවසක් බැවින් වෙනදාටත් වඩා අද උණුසුම මා වටා පැතිරී ඇති බවක් වැටහිණ.

හදිසියෙම නිවසේ විදුලිය ඇණ සිටියේය. ඒත් සමගම අසල නිවාස පෙළෙහිද එසේම වූ බව කාමරයේ කවුළුව දෙසට ඒ වන විට යොමු වී තුබුණු මගේ ඇස් වලින් මට දැක ගත හැකි වීය. විශාල දෙදරුම් හන්න්ඩක්, ස්වභාවයක් පහලින් ඇති විය. එය අකුණක්ද? නැතහොත් පාරේ එන අතරතුරේදී දෙපයට දැණුන පොළොවේ දෙදරුමද කියා මට නොවැටහිණ. මන්දයත් මෙවර ඒ හඬ දස ගුණයකින් පමණ වැඩිවී ඇසුණු හෙයින්. මා සිටි උඩ තට්ටුවට නංගී බය වී දිව පැමිණ මාව බදා ගත්තාය. ඇත්තෙන්ම බිම් මහලට ඒ දෙදරුම හොඳින්ම දැනෙන්නට ඇතැයි මත ඒ වෙලාවේදී තේරුම් ගියේය. නංගීට බය නොවී සිටින ලෙස් මා අවවාද කළේ මෙය අකුණක් බව පවසමිණි. ඇය නැවත උඩු මහලේ තිබූ ඇගේ කාමරය වෙත ගොස් ඇඳේ වැතිරී කොට්ටයක් බදා ගත්තාය.

ඒත් සමගම මුළු වැන්ඩන්බර්ග් ගම්මානයම තෙත් කළ මහා වරුසාව කෙමින් කෙමින් තුරල් වන සෙයක් දිස් විණි. වහලයේ උළු මතට වැටෙනා පොද වලින් නැගෙන 'ටක ටක' හඬ අඩු වත්ම එය වතහා ගැනීමට නංගීට පවා හැකි වන්නට ඇතැයි මම සිතුවෙමි. එසේ සිතුවද ඇගේ කාමරය වෙත හිස එබූ මා හට ඇය සැප නින්දකට වැටී ඇති බව පෙණින. එනමුදු පැතිර තිබූ අන්ධකාරය නම් අඩුවක් නැතිව එලෙසින්ම පැවතිණ. වර්ෂාව තුරන් කලද සිහින් පොදයක් පැවතිණ. ඉන්ද පැය දෙකක් හෝ තුනක් පමණ යන තුරුත් නිවසේ විදුලිය නැවතත් පැමිණ නොතිබිණි. මාද මඳක් නිදා ගත් බැවින් වේලාව් හරි හැටියට පැවසීමට නොහැක. එහෙත් අවදි වූ අවස්ථාවේද විදුලිය පැමිණ නොතිබූ හෙයින් මම කෑමට යමක් සෙවීමට පහළ තට්ටුවේ වූ ශීතකරණය වෙත පිය නැගීමි. තිබූ පලතුරු අතරින් ඇපල් ගෙඩියක් අතට ගෙන නැවතත් සුපුරුදු නවාතැනට පිය මැන මගේ පාසල් වැඩක් කිරීමට සූදානම් විය. මගේ ලැප්ටොප් පරිගණකයෙන් අන්තර්ජාලය සැරි සැරීමට මා උත්සාහ කළද එයද අසාර්ථක වූයේ වර්ෂාව නිසා ගුවන් විදුලි සංඥා අවහිර වී තිබූ බැවින් විය හැකිය. අතරින් පතර පැමිණෙන සංඥා ග්‍රහණය කොට ගෙන වැඩය කර ගැනීමට ප්‍රමාණවත් අන්තර්ජාල සම්බන්ධතාවක් නොතිබූ හෙයින් ලියන වැඩ කොටස අවසන් කිරීමට මම හිත වෙනස් කර ගතිමි.

රිදී අසිපත - 1 වන කොටස

මුළු පලාතම අන්ධකාරයේ ගිලී ගොස් තිබිණ. හමන හැම සුළං රොදකම ගැබ්ව තිබුණේ සැඟවුණු අවිනිෂ්චිත බවකි. මේ වන විටත් මධ්යහහ්න දොළහේ කණිසම වැදී විනාඩි පහලවක් පමණ ගත වෙලා හමාරය. මම තවමත් බෙන්විල් පාරේ ඇවිදගෙන නිවෙස බලා යන අතර මගය. මා සතුව තිබුණේ මගේ පොත් බෑගයත් මට උපන්දිනේට ලැබුණු බයිසිකලයත් පමණය. බයිසිකලයට නැගී එනවාට වඩා එය තල්ලු කර ගෙන පයින්ම ගෙදර යෑම මගේ විනෝදාංශයක්ව වී තිබිණ. බොහෝ වේලාවට එය විනෝදාංශයකටත් වඩා විනෝදකාමි පුරුද්දක් වූවා කීවොත් නිවැරදියි. එය මම බොහෝ අවස්ථාවන් වලදී සිදු කලේ මගේ මිතුරෙකු සමගින් පාසලෙන් පිටත්ව නිවෙස් බලා යන අතරතුරේදිය. එනමුත් අද දින මගේ මිතුරා ‘කෙවින්’ ඔහුගේ පියා ද සමගම වේලාසනින්ම පිටත්ව ගොස් තිබූ හෙයින් තනිවම ම ඒමට මට සිදු විණි.

එන අතරතුරේදී මගේ හිස මතට කුමක් හෝ පතිත වූවාක් මෙන් දැනිණ. ඒ වෙනයම් කිසිවක් නොව වැහි බිඳුය. හිස අතගා ඉවතට ගෙන අත්ල දෙස බලා සිටි මා හට මහා වරුසාවක සේයාවක් තේරුම් ගියේය. වැස්සෙන් බේරීමට මගේ ගමන මම ඉක්මං කළත් වැස්සේ වැඩි වීමක් නොපෙන්වූ හෙයින් හිටි ගමනේම රැඳෙන්නට මම තීරණය කළෙමි. ඒත් වැඩි වේලාවක් යාමට මත්තෙන් වැහි බිඳු වල වෙනසක් තෙරුම් ගැනීමට සුදුසු වාතාවරණයක් නැති බව මට වැටහුම් ගියේ, බින්දුවෙන් බින්දුව වැටුණු පොද වැස්ස දරුණු ආකාරයට වැඩි වූ බැවිණි. පාරේ හිටි අතලොස්සක් පමණ දෙනා ඒ මේ අත පිස්සු බල්ලන් මෙන් දුවනා ආකාරය මට යාන්තමට මෙන් මගේ දෑස් අඩක් වැසෙනා අන්දමින් පැලඳ සිටි හිස් වැසුම පහලින් දැකීමට ලැබිණි. සතියේ සෑම දිනයකදීම උදෑසනට දකිනා දර්ශනය අද සවස් යාමය උදා වත්ම දකින්නට ලැබීම එතරම්ම සුභදායක ආරංචියක්දෝ කියා මට සිතා ගත නොහැකි විය.

මගේ වේගය වැඩි වී ඇති බව මට ඉවෙන් මෙන් වැටහිණි. ඇත්තෙන්ම මා වේගය වැඩි කරන්නට අත්තේ පාරේ හිටි මිනිසුන් අනුකරණය කරන්නාක් මෙනි. නමුත් යාර විස්සක්වත් යාමට මත්තෙන් මගේ දෙපා වලට මින් කිසි විටෙකත් නොදැනුන හැඟීමක් දැනිණ. පොලොවේ දෙදරුම කුමක්ද නැතහොත් වෙනත් යමක්ද කියා හිතා ගැනීමට අපහසු යමක් දෙපා යටින් ගැඹුරු පොලෝ පත්ලෙන් හට ගැනිණ. මඳ වේලාවක් නිසොල්මනේ නැවතී සිටි මම නැවත වතාවක් ඒ දෙදරුම අත්දැකීමට කැමැත්තක් දැක්වීමි. එකෙණෙහිම ඒ දෙදරුම නැවතත් මතු වී මගේ දෙපා වෙවුලවන්නට විය. දැන් නම් මාගේ හිතේ පොඩි චකිතයක්ද හට ගෙන තිබුණි. මම වහාම මගේ බයිසිකලයට ගොඩ වී පාගන්නට වුනෙමි. "භූමි කම්පාවකට බය වෙන්නේ මොකටද?" කියා මම මගේ හිතට කියා ගත්තේ හිතේ ඇතිව තිබූ නොසන්සුන් බව මග හැරවීමටදෝ කියා සිහින් ලැජ්ජාවක්ද විය.

පාර වැහි බිඳු වලින් සම්පූර්ණයෙන් තෙමී ගියේය. එබැවින් මඳ ලිහිසි ස්වභාවයක් තිබූ බැවින් හිතුවාට වඩා වේගයෙන් බයිසිකලය පෑගීමට හැකි නොවිණ. පාරේ පසෙකින් පිහිටා තිබූ ‘බෲක්’ මහතාගේ ස්ටෝරු කාමරය ඉදිරියෙන් දිස් විය. අලුතින්ම ලැබුණු බයිසිකලය වැස්සට තෙමා ගන්නට වැඩි කැමැත්තක් මට නොතිබිණ. එහෙයින් මා කෙලින්ම බෲක් මහතා වෙතට පෑගුවේ බයිසිකලය එහි ගාල් කොට ඉතිරි දුර පයින් යාමට සිතා ගෙනය. බෲක් මහතා මගේ පන්තියේ එකට ඉගෙන ගන්නා මිතුරියකගේ පියාය. ඒ හේතුවත්, මගේ පියාගේ අතිජාත මිතුරෙකු වීමත් බෲක් මහතා මාව හොඳින් දැන හැඳිනීමට හේතු කීපයක් විය. වැස්ස තුරල් කරන්නාක් මෙන් පෙනී ගිය නමුදු එය එසේ නොවන බව ඈතින් අහසේ දිස් වන අකුණු රේඛා වලින් පෙනී ගියේය. මා හැඳ සිටි ජැකට්ටුවේ පිටුපසින් සම්බන්ධව තිබූ හිස් ආවරණයද හිස් වැසුමට උඩින් පැළඳ ගත් මා බෲක් මහතාගෙන් ලද කුඩයක්ද රැගෙන ඔහුට සමු දී ඉක්මණින් නිවස බලා ඇවිදීමට පටන් ගත්තේය. අසල ‘පයින් රුප්පාවට’ වැදුනු අකුණක ශබ්ධය නිසාදෝ මගේ ඇවිදීම දිවීමකට පෙරලිණි.
"රිදී අසිපත" කතාවෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත කතා පුවතක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in this story, "Ridee Asipatha (The Silver Sword)" are fictitious and a creation.