ප්‍රබන්ධයක් ලෙසින් රචනා වෙන මෙම බ්ලොග් පිටුවට මිතුරු ඔබ සැවොම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා හා ප්‍රශංසාවන් පළ කරන අතරතුරේදීම පාඨකයෙක් විදියට මේ කතාවත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා. මේ කතාව සාර්ථකව ඉදිරියට ගෙන යන්න ඒක ගොඩාක් ලොකු රුකුලක් වේවි...

Sunday, May 9, 2010

රිදී අසිපත - 3 වන කොටස

වර්ෂාව දැන් වැන්ඩන්බර්ග් වලින් ඈතට ගොස්ව ඇතැයි මට සිතුනේ අකුණු හඬ දුරින් හා අඩුවෙන් කන වැකීම නිසා විය හැක. අපහසු ගෙදර වැඩක් දී නොතිබූ හෙයින් මට පාසලේ වැඩ ටික ඉක්මණින්ම ඉවර කර ගත හැකි වූවත් පරිගණකයෙන් සොයා ගත යුතු රූප කීපයක්ම වූ බැවින් අන්තර්ජාල පහසුකම් නැවත ලැබෙන තුරු මා හට ලත වීමට සිදු විය. ඒ අතරතුර කාලයේදී නිකන් සිටිනවාට වඩා වැඩක යෙදෙන්නට මගේ සිත කැමැත්තෙන් පසු වීය. කාලගුණයේ තිබූ සිසිල් බව ඒ හැඟීමට මොනවට පිළිතුරු සපයා තිබිණ. ඒ මොහොතේදී මට මතක් වූයේ මගේ සුපුරුදු දින පොතයි. පුරුද්දක් වශයෙන් දින පොත ලිවීම වයස අවුරුදු දොළහේ සිටම කර ගෙන ආ දෙයකි.ඒ පුරුද්ද මට ඇති වූයේ තාත්තාගෙනි. ඔහුද එලෙසින්ම දින පොතක් ලියනු මා කීප විටක්ම දැක තිබුණා. ඔහුට නම් එය ලිවීම කෙතරම් වැදගත්ද යන වග මට දැන් දැන් වැටහී යන්නේ ඔහු රැකියාවේ නිරත වූයේ ගුවන් හමුදාවේ බැවිනි. දිනෙන් දින එකතු වෙන රසවත් සිදුවීම්, හැල හැප්පීම්, දුක්බර අවස්ථාවන්, සතුට වගේ හැම දෙයක්ම හමුදා සේවයේ සිටින බොහෝ දෙනා හට වැදගත් සිදුවීම් විය හැක. එවැනි දින පොත් බොහෝමයක් පසු කලෙකදී වීර කාව්‍ය මෙන් ප්‍රකට වී ඇති අවස්ථාවන් කීපයක් ගැනම මා කියවා අසා දැන සිටියේය. ඔහුටද එය එසේම වන්නට ඇතැයි සිතමි. හතලිස් හැවිරිදි වූ ඔහු නමින් "ජෝන් කාටර්" විය. තඹ පැහැති හිසකේ තිබූ නමුදු ඔහුගේ උඩු රැවුල මඳක් කළු පැහැයට හුරු වූ තලෙළු සමකින් හෙබි පුද්ගලයෙකි. බොහෝ රළු ගති පැවතුම් පැවතුනද ඔහුගේ කාර්යබහුලත්වය නිසාම නිතර නිවසේ රැඳෙන්නට වේලාවක් තිබුණේද නැත. ඒ හේතුව නිසා මාත්, අම්මාත්, නංගීත් පමණයි නිවසේ බොහෝ විට එකට සිටියේ.

මට වයස දහ හතරේදී අම්මාත් තාත්තාත් පවුලේ ඇති වූ  ප්‍රශ්න හේතුවෙන් වෙන්ව සිටීමට තීරණය කරන ලදී. තාත්තාගේ කාර්යබහුලත්වයත්, ගෙදර දරුවන් පිළිබඳව ඔහුගේ සිතේ වැඩි යම් හැඟීමක් නොතිබුණි යැයි ඇගේ සිතේ ඇතිවූ ගැටළුත් නිරාකරණය වූයේ එම තීරණය නිසාය. නංගී ගැන ඇතිවූ යම් යම් ගැටළු නිරාකරණය කර ගැනීමටද ඒ තීරණයෙන් හැකි වන්නට ඇතැයි මගේ හැඟීමයි. මන්දයත් තාත්තා නංගී පිළිබඳව වැඩි කැමැත්තක් නොදැක්වූ බැවින් අම්මා ඒ පිළිබඳව හිතෙන් දුක් වූ අවස්ථාවන් අනන්තවත් මගේ ඇස වැටී ඇත. ඒ, නංගී එක කුසේ නූපන් නිසාවෙනි. මගේ බිහිවීමෙන් පසුව අම්මා කෙලි පොඩිත්තියක් දැකීමට කැමැත්තෙන් සිටි බව වරකදී මට පවසා ඇත. ඒත් ඇයට නැවතත් ගැබ් ගැනීමට ජීවිතේ කවමදාකදිවත් හැකියාවක් නැති බව වෛද්‍යවරුන් පවසා ඇති බැවින් තාත්තාගේද අනුමැතිය ඇතිව ඈ මෙවැනි තීරණයකට එළඹෙන්නට ඇතැයි සිතිය හැකිය. ඈ මටත් වඩා නංගී හට ආදරය කළ බව මා දනී. නංගී එවැනිම ආදරයක් මා හටත් පිදුවාය. ඇගේ හැම දේකදීම ආදරෙන් ඈ හට උදව් උපකාර කිරීමට මගේ හිතේ අකමැත්තක් නොතිබිණි. එය සහෝදර ප්‍රේමය විය හැකිය. අම්මාගේ ආදරය මා ලැබුවේ ඒ අන්දමින් කීවොත් වඩා නිවැරදිය.

ඉන් වසර කීපයකට පසුව ඔවුන් දෙදෙනා මාගේ පියාගේ ඉල්ලීමකට අනුව නීත්‍යානුකූලව විවාහ දිවියෙන් වෙන් වූහ. තාත්තා ජීවත් වුයේ වසර දෙකක්ම ඒ වන තුරු පිටස්තර සමාජයකය. ඒ ලොස් ඇන්ජලීස් වලය. එනමුදු ඔහුගේ කාර්යබහුලත්වය කිසිසේත්ම අඩුවක් වී නොතිබිණ. නමුත් ඔහු පොරොන්දු වූ අයුරින්ම අම්මා හට අධිකරණය විසින් නියම කළ සැළකිය යුතු වන්දි මුදලක් අත තැබුමට අමතක නොකලේය. ඒ කාලයේදී තාත්තා වෙනත් කාන්තාවක් සමග සම්බන්ධතාවක් ඇති කර ගෙන ඇති බව ඔහු විසින්ම අම්මා හට දුර ඇමතුමකින් පවසා තිබිණ. දික්කසාදයද සිදුවී ඇති බැවින් හා පසුගිය අතීතයේ සිදුවූ ගැටළු ගැන සිතමින් ඇය එය අනුමත කළා විය හැක. ඉන්ද වසරකට පසු අපේ ජීවිත වලට තවත් අමුත්තෙකු ඇතුළු විය. ඒ "හැරී බෙන්ජමින්" ය. ඔහු ව්‍යාපාරිකයෙක් වූ අතර අම්මාගේ ජීවිතයට එකතු වූ සහකරුවාද විය. ඔහු ඉතාමත් කරුණාවන්ත අයෙකු වූ හෙයින්ම මගේත්, නංගීගේත් හිත් දිනා ගැනීමට වැඩි කළක් ගත නොවිණි. අම්මාද ගමේ තිබූ කඩ වලට බෝතල් කර සැපයූ කල් පවත්නා ආහාර වර්ග වලින් ඉපයූ ආ
දායම ඔහුට නගරයටම ගෙන යා හැකි වූයෙන් නිවසේ ආදායම් තත්වය ද බෙහෙවින් වැඩි දියුණු වූ බව නොසඟවාම බැරිය.

2 comments:

  1. හ්මි මල්ලි ලියනවා හොදයිනේ. හිටි කවුන්ටර් එකක් දා ගත්ත නමි
    සයිටි එකේ තත්වෙ බලාගන්න තිබිබා.

    ReplyDelete
  2. යුනිකෝඩ් එක මෙථන ධමපු එක හරිම පහසුවක්..නියම වැඩක් දිගටම ලියන්න

    ReplyDelete

"රිදී අසිපත" කතාවෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත කතා පුවතක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in this story, "Ridee Asipatha (The Silver Sword)" are fictitious and a creation.